Tuesday, March 6, 2012


 


                               රත්න ශ්‍රී කවි ලකුණ අන්‍ය ගැති නොවූවකි. එසේ නම් ඕපපාතිකයෙක්‌ද? සේකරගෙන් පසු බිහි වූ මානව හිතවාදී අනුප්‍රාප්තිකයා රත්න ශ්‍රී. කවිය යනු හදවතේත් බුද්ධියේත් සංකලනයකි යන්න විශද කරන කවියා රත්න ශ්‍රී. ඔහු කවිය අතපත ගාමින් සන්ධ්‍යා තීර්ථයකට පැමිණ ඇත. එහි උදුල තරුකැට පිළිබඳ විමසුමකි මේ.
  

රත්න ශ්‍රී විඡේසිංහ විසින් විරචිත "සන්ධ්‍යා තීර්ථය" නමැති කාව්‍ය කෘතිය කිහිප අතකින් සහෘද මන පුබුදන්නකි. ඔහු සුභාවිත බස ජීව ව්‍යවහාරය ඇසුරින් භාවිකාර්ථ ජනනය කරන්නකි. "සන්ධ්‍යා තීර්ථය" නමැති කව් පෙළ ජීවිතයේ ඔත්පළ වූ කථකයකුගේ හුදෙකලාව හා බැඳුණු මානව ධර්මතාවක්‌ රූපණය කරන පබැඳුමකි. අතීතය වෙත පුනරාගමනය වන මෙකී කථකයා ඒ ඇසුරින් වත්මනේ තමා පිළිබඳ ආත්මානුකම්පාවෙන් පෙළෙයි.

හැරී ආපසු බලමි මා පැමිණි පිය හසර
මැකී යයි අතීතය සුදෝ සුදු පෙණ වැළඳ
කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර


දෛනික දිවියෙහි ව්‍යවහාරික සරල බස ව්‍යංජන ගුණයෙන් සපිරි ව කවිය සඳහා උකහා ගැන්මේ විභව්‍යතාවක්‌ රත්න ශ්‍රී සතුය. උපයුක්‌ත එවන් බස්‌වහරක්‌ ඇසුරින් ප්‍රබල කාෙව්‍යාක්‌ති ජනනය කිරීමේ පටුත්වයක්‌ ද ඔහු සතුය. කථක සිතෙහි පුබුදන අතීත මතකයන්හි අමරණීය බව කවියා මෙසේ වනිත කරයි.

අත්ලිහී අත ඇඟිලි දුරස්‌ වී යන අතර
හඬන්නට ආසන්න මලානික මුව මඬල
මට පෙනේ දෙබෑ කොට හඬ නගන රළ පතර
මැකී යනු නැත කැරලි ගැසූවත් මහ මුහුද


කවියා සිව්පදය වහල් කොට ගත්තද සිව්පදයට වහල් නොවී සිව්පදය වහල් කොට ගෙන මවන කාව්‍යාත්මක රිත්මය ද තත් අනුභූතිය සූචනයෙහිලා මහෝපකාරී වී ඇත. සිව්පදය තුළ සිට වුව ද නව.රුත් ප්‍රතිපාදනය කිරීමේ ශක්‍යතාවක්‌ ද රත්න ශ්‍රී සතුය. පුරාණෝක්‌තීන්ට නව අර්ථකථන සැපයීම රත්න ශ්‍රී කවි ලකුණෙහි ද සුවිශේෂත්වයකි. "නික්‌ම ගිය නුඹට" නමැති කව් පෙළ විදේශගත සිට පෙම්වතිය අමතා කරන අයෑදුමකි. එය මහනුවර යුගයේ රචිත සයෝදරාවත පුනර් නිර්මාණය කිරීමකි.


යසෝදරා සරි රූසිරි රුව කැටි යේ
බිසෝ වෙන්න පෙරුමන් පුරමින් සිටි යේ
කියාගන්න බැරි අතවරවලට බි යේ
ළසෝ දුකක්‌ දීලා මට යන්ට ගි යේ


කවියා ජන කවි බස, ආකෘතිය, වස්‌තු විෂය මතු නොව ජන කවි ක්‍රමය ද එහි අව්‍යාජ බව ද උකහා ගනියි.

මලේ බමරු මල අතහැර ගිය බැවි නී
විලේ ජලය විල අමතක කොට සිදු ණී

ඈ යෙදුම් අපේක්‍ෂිතාර්ථය මුදුන් පමුණුවාලීමට කවියා විසින් සුභාවිත ජන කවි ක්‍රමයෙහි ආලෝකයට දෙස්‌ දෙයි. තැනෙක සිව්පද නිර්මාණයන්හි භාවිත කාෙව්‍යාaක්‌ති ද ප්‍රබල ය. "හවානා බෝධිය" නමැති කවි පෙළෙහි එන මතු යෙදුම මෙහිලා සනිදර්ශන වේ. එයින් හවානාවල හුදෙකලා වූ බෝධිය පිළිබඳ චිත්ත රූ ජනනය වෙයි.

නැතියෙන් කිරිපැන් වඩනා පිරිවර
උපැවැදි වී දෝ මහ බෝ හිමි සඳ



සිව්පදය කවර කවියකුට වුව ද අහක බැලිය නොහැකි සම්ප්‍රදායක්‌ සේ පුනරාගමනය වූ කාව්‍ය ආකෘතිය ලෙස හැඳින්විය හැකිය. රත්න ශ්‍රී කවි ලකුණට ද මෙය අනන්‍ය වූවකි. "බිම නිදාගත් අම්මා" නමැති කව් පෙළ තත් කාව්‍යාකෘතිය සුඛනම්‍ය ලෙස සම්භාවිත කොට ගත්තකි. මැකී ගිය මව විෂයෙහි පුතකුගේ සරයෙන් රූපණය කරන මෙකුදු කව, මවක්‌ දරුවන්ට කෙතෙක්‌ ඖදාර්ය චරිතයක්‌ ද යන්න ප්‍රකාශමාන කරයි


තිබුණ එකම ඇඳ නුඹගේ සිරි යහ න
මට ම දී පැදුරු කබලක්‌ බිම එල න
අවට සදා දුව පුතු වටකොට නිද න
නුඹට මවුනි මා පුතු වූයෙ ද කෙදි න


"රජ ගෙදර කවි" හිසින් රචිත සිව්පද නිර්මාණය මිතුරකුගේ කවියකට ලියූ පිළිතුරු කවියකි. රජ මැති අබියස බැල මෙහෙ කරන කථකයා විඳින දිවිය සුත වූවක්‌ නොවන බැව් නිරූපණය කිරීමේ අභිප්‍රායෙන් රචනා වූවකි. ජනශ්‍රැතික අන්දරේ සංකල්පය අද්‍යතන සමාජය හා ගලපමින් ළගන්නා සුළු ලෙස කවිය රූපණය කළ ද ඇතැම් යෙදුම් ව්‍යාජ සංකල්ප ලෙස මතුවෙයි.



හිසින් දැරූ බැරි බර රජ - මැති ගාව
බිමින් තබා පැදුරේ කවි ලෙව කෑව
අතින් රජ ගෙදර කැත කුණු අත ගෑව
ලියන්න යන කවි නැත රජුනට දාව


මෙහි අවසන් පාදය ව්‍යාජ කථනයකි. රජුගේ අබියස මෙහෙ කරන කවරකු වුව ද රජුට වන්දිභට්‌ටකම් නොකරන බැව් කෙතෙක්‌ පැවසුව ද සිදුවන්නේ එයමය. කෙසේමුත් කාව්‍යාත්මක යෙදුම්වලින් පොහොනා නිර්මාණයක්‌ ලෙස "රජගෙදර කවි" තැකිය හැකිය.

රත්න ශ්‍රී කවි ලකුණ සිව්පදයට පමණක්‌ සීමා නොහේ. ඔහු නිදහස්‌ සම්ප්‍රදාය අනුදත් කවියෙකි. සමකාලීන සමාජ විCඳ්C¹ණය ප්‍රකට කරන කාව්‍ය නිර්මණ ද සන්ධ්‍යා තීර්ථයෙහි උපලක්‍ෂිතය. "බිලි පූජාව" නමැති කව් පෙළ මවක්‌ තම දරුවා කළු ගඟට දමන සමකාලීන පුවතක්‌ විෂය කොට ගත්තකි. එසේ වුව ද කවියා මෙකී මව විෂයෙහි හෙළන දෘෂ්ටිය සෙස්‌සන්ගෙන් ව්‍යqක්‌ත වූ සානුකම්පික දැක්‌මකි. මෙය ජන මාධ්‍යයන්ට උණුසුම් පුවතක්‌ වූ බැව් කාව්‍යාරම්භයෙහි කවියා මෙසේ හඳුන්වයි.


අචිරවතී ගංගාවක්‌ වී
කළු ගඟ
නතර නොවී ගලනා
කැමරා ඇස්‌ ඔරවා ගෙන
පාලම උඩ
ගොදුරු සොයන උකුසු රෑන උන්නා


පුවතක්‌ වටා ජනමාධ්‍ය ක්‍රියා කරන ආකාරයත් එය අලෙවි කර ගැන්මට දරන ප්‍රොaත්සාහයත් මිස මෙවන් දෙයක්‌ සිදුවීමෙහි සමාජ සාධක කෙරෙහි ඔවුන්ගේ බැල්ම යොමු නොවෙයි. කවියා මෙකී මව කෙරෙහි ද හෙළන්නේ ප්‍රගතිශීලී දෘෂ්ටියකි. කවියා සමාජ ප්‍රශ්න මධ්‍යස්‌ථව දකියි. එහි ගැඹුරට යන මිනිසකු ම වන කවියා මානවයා කෙරෙහි හෙළන මානව හිතවාදී බව පෘථුල වූවකි. මෙකී මවගේ ඇසෙහි උණන කඳුළ දකින්නේ ඔහු පමණි.


ගංගාවේ දිය රැළි උකුලේ
දිය බෙරලිය මල් තුරුලේ
කිසාදා නොසිඳෙන
කඳුළු බිඳක්‌ තිබුණා
සෑ රදුන්ට පෙනුණා


"සැරිසරණ ඥාතියා" නමැති කවි පෙළ ද සමාජ විෂමතා වහල් කොටගත් නිර්මාණයකි. මෙරට තමනට හිමි නිසි තැන් නොලද කල ඉසුරු සොයා හොර රහසේ විදේශගත පුද්ගලයකු වස්‌තු කොට ගත්තකි මෙය.

කූඩුවෙන් පිටත් වී
බිත්තියේ ගෙයි සාලෙ
ලංකාවෙ කඳුළකුත්
ඇහින් අරගෙන මොකද
මේ තරම් දුර ආවේ


"කල් යන නඩු" නමැති කවි පෙළ ද අද්‍යතන අපූර්ව අනුභූතියක්‌ වස්‌තු කොටගත් නිර්මාණයකි.


නීතිඥයෝ නොඑති
පමා වනු ඇත ලිපි ගොනු
නඩුව කල් යනු ඇත.
ඉන්ට වෙයි හෙටත්
පරණ සැමියා සමග ම


මාක්‌ස්‌ එංගල්ස්‌ යන දෙදෙනා "මානව සංස්‌කෘති" සංකල්පය තාර්කික වූද, ඓතිහාසික වූද, විද්‍යාත්මක වූද, පදනමක පිහිට වූහ. මාක්‌ස්‌ පවසන පරිදි ජීවිතය සකස්‌ කරනු ලබන්නේ
මනස  විසින් නොවේ. ජීවිතය විසින් සකස්‌ කරනු ලබයි. කවියාගේ මනස ද දිශාගත වන්නේ සමකාලීන සමාජය කෙරෙහිය. ඔහු හෙළන මානවීය ගුණය ද සාරගර්භ වූවකි.

මහගම සේකර කවියා රජයේ සෞන්දර්යායතනයේ අධිපති ව සිටියදී වරක්‌ ඔහු දකින්නට ගිය කොල්වින් සෙට්‌ටිනායක කලාකරුවා මුල් වරට ම දුටුවේ සේකරගේ දෙපයයි. මෙය ඇසුරින් රත්න ශ්‍රී "දෙපා" නමින් කවක්‌ ලියයි.
 

කටු ඇනුණු තැන්
ගල් තැළුම්
පැළුණු විලුඹේ අගල්
කවි පොතක පිටු දෙකක්‌ වන්
නොකියවූ දෙපතුල්

මඟ වියදම් අතේ නැතිවම
දහස්‌ වටිනා පයින් ඇවිදින
මගී ජනයිනි
ඔබේ මිරිවැඩි
අගී දෝ කෙතරම්


සේකරගෙන් පසු පැමිණි මානවහිතවාදී අනුප්‍රාප්තිකයා රත්න ශ්‍රී ය. දශක තුනක්‌ පුරා කවිය අස්‌වද්දන්න උරදුන් මෙකී සොඳුරු කවියා සැපත් "සන්ධ්‍යා තීර්ථය" කවීත්වයෙන් මුහුකුරා ගිය පරිණත කවියකුගේ රුව ගුණ සංලක්‍ෂණය කරයි.

No comments:

Post a Comment