Monday, February 27, 2012



බුද්ධිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම
(ක්‍රි.පූ.427-347)

 
පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක් සදිසි සංකල්පයක් දායාද කරනු ලබන්නේ ප්ලේටෝ විසිනි. ඒ පළමුවන පරිච්ඡේදයේ දී ද සඳහන් කරන ලද – ජනරජය ‍කෘතියෙහි සඳහන් වන -“දර්ශනය හා කාව්‍යය අතර දීර්ඝ කාලීන අරගලය” යන සංකල්ප‍යයි. දිගටම කියවන්න ප්ලේටෝ විසින් ලියන ලද කෘතීන් සියල්ලම විනාශ නොවී රැකී ඇති බව කියැවේ. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ලියැවී ඇත්තේ ද සංවාද (dialogue) ස්වරූපයෙනි. දින වකවානු වලට වඩා ඒවායේ භාෂා ශෛලීන් සැලකිල්ලට ගෙන පර්යේෂකයන් විසින් ඔහුගේ කෘතීන් කොටස් තුනකට බෙදා දක්වා ඇත. මින් පළමුවන කොටස සමන්විත වන්නේ සොක්‍රටීස් ප්‍රධාන චරිතය ලෙස ගෙන රචිත ‘සොක්‍රටීසියානු’ කෘතීන් ය. මෙම කෘතීන්හි විශේෂත්වය වන්නේ සොක්‍රටීස් ප්‍රධාන චරිතය වශයෙන් නිරූපණය කෙරෙන අතර ඔහු ලවා ප්‍රශ්න කරවීමත් ඊට පිළිතුරු ලබාගෙන අන්‍යයන්ගේ දුර්වලතා හා අඩුපාඩු ‘නාට්‍යාකාරයෙනුත්’ පැහැදිලි තර්ක මාර්ගයෙනුත් හෙළිදරව් කොට, ඔවුන් මුළු කොට, නිරුත්තර කොට වරද පිළිගන්නා හෝ අවබෝධ කොට ගන්නා හෝ තත්වයට පැමිණවීමයි. මෙම ප්‍රශ්නෝත්තර ක්‍රියාවලියේ දී බොහෝ විට නොවේ නම් ඇතැම් විට සොක්‍රටීස් තමන්ගේ නොදැනුවත්කමක් ඇඟවීම මගින් නගන උත්ප්‍රාසයෙන් (සොක්‍රටීසියානු උත්ප්‍රාසය – Socratic irony) සිය ප්‍රතිවාදියා දමනය කරනු පෙනෙයි. මෙම රචනෝපක්‍රමය භාවිත කෙරෙන රචනා වලට අයත් වන්නේ, ‘විත්තිවචය’ (Apology) (මෙය සංවාදයක් නොවේ), ක්‍රයිටෝ (Crito), අයොන් (Ion) යනාදී කෘතීන් නවයකි. දෙවෙනි කාණ්ඩයට අයත් කෘතීන්වල ද සොක්‍රටීස් ප්‍රධාන කථකයා වෙයි. එහෙත් මෙහි දී ඇති වෙනස නම් සොක්‍රටීස් ඇතැම් විට තම සිද්ධාන්ත වල ම ප්‍රකාශකයා වන අතර තවත් විටෙක ප්ලේටෝගේ මතවාදයන් හි ප්‍රකාශකයා වීමයි. මේ අනුව සොක්‍රටීස්ගේ භූමිකාව ක්ෂය පක්ෂයට අවතීර්ණ වන බව පෙනෙයි. මේ කොටසට අයත් වන කෘතීන් දහතුන අතර ෆීඩෝ (Phaedo), ‘ෆීඩ්‍රස්’ (Phaedrus), මධුසාදය (Symposium) හා ‘ජනරජය’ (Republic) වැනි කෘතීන් වෙයි. තෙවන කොටසට අයත් ‘ක්‍රයිටියාස්’ (Critias), ‘විතණ්ඩවාදියා’ (Sophist), ‘පොලිටිකස්’ (Politicus), ‘ටිමේයස්’ (Timaeus), ‘ෆයිලීබස්’ (Philebus) හා ‘නීති’ (Laws) යන කෘතීන්වල සොක්‍රටීස්ගේ භූමිකාව තවත් ක්ෂය වනු පෙනෙයි.
පුරාතනයේ දී හසුන්පත් (epistles) ස්වරූපයෙන් ලියන ලද රචනා දහතුනක් ද ප්ලේටෝට ආරෝපණය කොට ඇතත් නූතන විද්වතුන් පිළිගන්නේ ඒවායින් තුනක් පමණක් ප්ලේටෝගේ ලෙස පිළිගත හැකි බවයි.
මේ ඓතිහාසික කරුණු කෙසේ වුවද ඔහුගේ කෘතීන් පරිශීලනය කිරීමේ දී ඇතැම් කරුණු කැපී පෙනෙයි. මේවා බටහිර සාහිත්‍ය විචාරයට කෙතරම් දුරට සම්මාදම් වූවාදැයි විමසීම මෙහි දී මගේ පරමාර්ථය වෙයි.
ප්ලේටෝ මට පෙනෙන්නේ විරුඬාභාසයන් සමවායකින් සුසැදි අධ්‍යාත්මයක් සතු ප්‍රාඥයකු ලෙසිනි. මෙකී විරුඬාභාසය සමවාය විසින් ඔහුගේ අධ්‍යාත්මයට කිසියම් බහුරූපේක්ෂී ප්‍රභාවක් (kaleidoscopic brilliance) සපයන ලද බව පෙනෙයි. ප්ලේටෝගේ අධ්‍යාත්ම චෛචිත්‍රය ඔහුගේ ඇතැම් කෘතීන් – මධුසාදය, ජනරජය, ෆීඩෝනම් සංවාදය – තුළ සුවිශේෂ වශයෙන් ද තවත් කෘතීන් තුළ අවශේෂ වශයෙන් ද පවත්නා බව පෙනෙයි. යට සදහන් කෙරුණු බහුරූපේක්ෂී ප්‍රභා මණ්ඩලයේ න්‍යෂ්ටිය වශයෙන් සැලකිය හැකි ‘කාව්‍යය හා දර්ශනය අතර දිගු කාලීන අරගල’ පුළිඟුව එකී සෑම විරුඬාභාසයක් තුළම දිදුලුම් දෙනු පෙනෙයි.
මේ විරුඬාභාසයන් මොනවා ද? පළමුව ප්ලේටෝගේ ජීවන පුවතෙහි එන ඉතාමත් අපූර්ව සිදුවීමක් අන් සියල්ල පරයා මතු වෙයි. විසි හැවිරිදි කල ඔහු සොක්‍රටීස් වෙතින් ශිෂ්‍යභාවය ලබන්නට පෙර කාව්‍ය හා නාටක රචනයෙහි යෙදුණු බවත් නමුත් පසුව එම රචනා විනාශ කොට දමා දර්ශනය හා ගණිතය හැදෑරීම වෙත නැඹුරු වූ බවත් කියැවේ. පුරාණ ග්‍රීක සම්ප්‍රදායට අනුව කාව්‍ය නිර්මාණකරණය දේව අනුප්‍රාණය ලබා කෙරුණු කාර්යයක් බවට විශ්වාස කෙරිණි. එහෙත් දාර්ශනික ‘බුඬිය මිත්‍රයෙකැයි සිතූ’ ප්ලේටෝ සොක්‍රටීස් – ගස යටට වී ‘මග රැක සිට’ සිය කාව්‍ය ‘දෙවියන් මරා’ හෙළීමෙන් පසු බුඬිය සොයා ගිය ගමනේ දී එම දෙවියන් ඔහු අත් නොහැර වරින් වර නොව නිබඳ ව පිහිටට ආ බවට මධුසාදය, ජනරජය ආදී මෙහි සඳහන් කෙරෙන නොකෙරෙන සංවාදයන් සාක්ෂි දරයි. මීටත් වඩා කුමන විරුඬාභාසයක් ද?
දෙවනු ව ග්‍රීසියෙහි ක්‍රි:පූ: සයවෙනි සියවසේ සිට පැවැත්තේ යයි ප්ලේටෝ කියන ‘කාව්‍යය හා දර්ශනය අතර දිගුකාලීන අරගලය’ පස්වන සියවස ගෙවී යත් ම තම ආත්මගත අරගලයක් බවට පත් කරගත් සෙයක් පෙනී යයි. සිය රට තුළ සිදුවන සමාජ අරගලයක් සිය අධ්‍යාත්මය තුළට ගැනීම සඳහා ක්‍රියාත්මක වන්නේ හුදු බුඬි ශක්තියට වඩා භාවමය සංවේදීතාවය බව නොකිවමනා ය.

මරා දැමූ කවියා ‘ඇපලොජිය’ තුලින් යලි උපදියි

ක්‍රි:පූ: 470 දී මරණ දඬුවමට නියම කරන ලද හැත්තෑ හැවිරිදි සොක්‍රටීස් අධිකරණය ඉදිරියෙහි පෙනී සිටිමින් කරන ලද ක්ෂමාලාපය (apology) ඇසුරෙන් ප්ලේටෝ ‘ඇපොලොජි’ (Apology) නමින් අපූරු රචනාවක් කෙළේ ය. සොක්‍රටීස් මුහුණ දුන් ඒ අවස්ථාව හා අනන්‍යගත ප්ලේටෝ විසින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත ඒ ‘ඇපලොජිය’ කාව්‍යයක් වැන්න. සිය ගුරු දේවයන්ගේ නිදොස් බව පිළිබදව ලොවට හඬගා කීමට ‘ඇපලොජි කාව්‍යය’ ඉදිරිපත් කරන ප්ලේටෝ කලකට පෙර එතුමන්ගේ සෙවනෙහි හිඳිමින් ‘කවියා මරා දැමූ’ පසු ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් විසින් කවියා වෙනුවෙන් – කවියාගේ නිදොස් බව දැක්වීමට – ඉදිරිපත් කරන ලද ‘ඇපලොජිය’ වූ කලී ‘කාව්‍ය ශාස්ත්‍ර’ වෙයි. මේ ඇපොලොජි දෙක අතර පැහැදිලි වෙනසක් ඇත. ප්ලේටෝගේ කෘතිය වූ කලී මියැදුණු සොක්‍රටීස්ගේ සමස්ත අධ්‍යාත්මය ම තමා තුළට අවශෝෂණය කොට ගෙන එමගින් කතුවරයා කවියා ලෙස උපත ලබන ශුඬ භූමියයි. එබැවින් එම ‘ඇපලොජියෙන්’ අප දකින්නේ සොක්‍රටීස්, ප්ලේටෝ හා කවියා යන ත්‍රිත්වය ම භාව අනුහසින් ඒකීයත්වයට පත්වුණු ලෙසකි. එහෙයින් ප්ලේටෝගේ ‘ඇපොලොජිය’ භාව කේන්ද්‍රීය සාහිත්‍ය නිර්මාණයකි. සිය ආරම්මණයට සාපේක්ෂ ව රචකයා දුරස්ථ ව නොසිටියි. රචකයාත් ආරම්මණයත් භාව නම් වූ හුයෙන් බඳින ලදු ව එක් ම ලක්ෂයක් සම්පාත වී සිටිනු අපට පෙනෙයි. නමුත් ඇරිස්ටෝටල්ගේ ‘ඇපොලොජිය’ තුළ කතුවරයා සිය ආරම්මණයට, එනම් කවියාට, සාපේක්ෂව දුරස්ථව සිටියි. එමෙන් ම භාවයන් අනාරාධිතය. ඇරිස්ටෝටල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරමාදර්ශී විචාරකයකු බව ඔහුගේ ‘කාව්‍ය ශාස්ත්‍ර – ඇපොලොජිය’ ඔප්පු කොට සිටියි. මෙහි දී මතු ව සිටින උත්ප්‍රාසාත්මක අරුමය නම් ‘කාව්‍ය ඝාතකයා’ විසින් ලියන ලද ‘ඇපොලොජිය’ කාව්‍යයක් වීමත් ‘කාව්‍යාරක්ෂකයා’ ලියූ ‘ඇපොලොජිය’ කාව්‍යයක් නොවීමත් ය.
ඒ අනුව ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ මෙම රචනා ශෛලීන් දෙකෙන් අපට උකහා ගත හැකි මහඟු අරුතක් වෙයි. එක ම කාසියක දෙපැත්ත සිහි කරවන එකී දිසි අරුත නම් නිර්මාණකරුවාගේ ලොව තුළ භාවයන්ට උරුම කාර්යභාරයක් තිබිය හැකි වුව ද විචාරකයාගේ ලොව තුළ එබන්දකට ඉඩ කඩ තිබිය නොහැකි බව ය.
මේ ගුරු ගෝල දෙපළ සාහිත්‍යය (කලාව) දෙස බැලූ ප්‍රති විරුඬ කෝණයන් ඔවුන් රැගෙන යන ගමනාන්තයන්හි ප්‍රතිඵල මොනවාදැයි පිරික්සා බැලීම මගේ අභිප්‍රායට උදව් වෙතියි සිතමි. ප්ලේටෝ ට සාහිත්‍යය යනු මිනිස් සිතට බලපාන ප්‍රපංචයක් බව ජනරජයඅපට පෙන්වා දෙයි. ඔහුට ප්‍රධාන වන්නේ මිනිස් සිතයි.


 
Picture
Picture
Picture
Picture
බෞද්ධ චිත්‍ර කලාව

බෞද්ධ විහාරයකට වන්දනාවේ යන බාල මහලු කවුරුත් බිතුසිතුවම් නැරඹීමට කැමැත්තක් දක්වති. පුරාණයේ සිට ම බෞද්ධ විහාර බිතුසිතුවමින් අලංකාර කොටඇත්තේ පැහැදිලි අරමුණු ඇතිව ය. වන්දනා කරුවන් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවීම එක් අරමුණකි. සැදැහැවතුනට සදාචාරාත්මක පාඩම් ඉගැන්වීම හෙවත් උපදෙස් දීම තවත් අරමුණකි. කියවීමට නොහැකි අයට වුවත් සිතුවම් බලා ආශ්වාදයක් අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම චිත්‍රවල ඇති විශේෂ ලක්ෂණයකි.

බෞද්ධ විහාරයක බිතුසිතුවම් අතර දක්නට ලැබෙන තේමාවන් විවිධ ය. සූවිසි විවරණ ඇතුළු බුද්ධ චරිතය, ජාතක කථා, බෞද්ධ ඓතිහාසික සිද්ධි, දෙව්ලොව වර්ණනා, අපාය විස්තර හා සැරසිලි චිත්‍ර මේ තේමාවන් සමහරකි. මේ සියල්ලම නැති වුණත් මෙයින් එක වර්‍ගයක සිතුවම් හෝ විහාරයක දී දක්නට නොලැබෙන්නේ නම් ඒ කලාතුරකිනි. ලංකාවේ පැරණි සිතුවම් කලාවක් තිබෙන්නට ඇත. එහෙත් බෞද්ධ සිතුවම් කලාව අපට ලැබුණේ බුදු දහමත් සමඟ ය. අනුරාධපුරයේ මුල් කාලයේ අඳින ලද සිතුවම් අද අපට දක්නට නොලැබේ. දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බිත්තිවල විචිත්‍ර සිතුවම් ඇඳ කිබූ බව මහාවංශයේ කියැවෙයි. ජාතක කථා අඳින ලද චිත්‍රවස්ත්‍රවලින් වෙසක් දින අනුරාධපුරයේ නගරය අලංකාර ව තිබූ බව ලක්දිවට පැමිණි පාහියන් නමැති චීන භික්ෂූන් වහන්සේ ගේ ගමන් විස්තරයේ (5 සියවස) සඳහන් වෙයි.

අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවමක් මිහින්තලේ චෛත්‍යයක ධාතු ගර්භයකින් සොයා ගෙන තිබේ. මේ සිතුවම් වලාකුළුවලින් මතුවන දේවතා සමූහයකගේ රේඛා චිත්‍රයකි. දැනට ඉතිරි වී ඇති අනුරාධපුරයට අයත් හොඳ ම සිතුවම් පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර යි. 


මහනුවර ආසන්නයේ පිහිටි හිඳගල විහාරයේ ද මැකී ගෙන යන පැරණි සිතුවම් කොටසක් ඇත්තේ ය. හත්වන සියවසට අයත් සේ සලකනු ලබන මෙම චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ශක්‍රයා ඉන්ද්‍රශාල ගුහාවට පැමිණි අවස්ථාව නිරූපණය වේ යනු හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස විය.

හිඳගල : සිදුහත් කුමරු ගිහි ගෙය තුළ විදින ලද සැප සම්පත්

පොළොන්නරු යුගයේ චිත්‍ර

පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් සිතුවම් පළමුවරට හමුවන්නේ පැරණි මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයෙනි. මාර පරාජය කොට බුද්ධත්වය ලබා ගැනීමේ සිද්ධිය මේ චිත්‍රයෙන් දැක් වේ. බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන් පිරිවරා බෝමුල වැඩ සිටිති. වෙන් වෙන් ව අඳින ලද බෝපත් පැහැදිලි ව දැක් වේ. දෙව්පිරිස අතර ශිව හා විෂ්ණු යන දෙවිවරුන් දෙදෙනා ද දක්නට ලැබේ. රතු, කහ, සුදු, කළු යන වර්ණ යොදා ඇඳ ඇති මේ සිතුවම් සෞන්දර්යයඅතින් උසස් තැනක් ගන්නා බව කියනු ලැබේ. මහියංගන ධාතු ගර්භයේ සිතුවම් 1 විජයබාහු රජ (ව්‍යවහාර වර්ෂ 1055- 1110) සමයට අයත් වෙයි.

 පොළොන්නරු යුගයට අයත් වැදගත් බිතු සිතුවම් රාශියක් දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමභාහු රජු ( ව්‍යවහාර වර්ෂ 1153 -1186) විසින් ගොඩ නගන ලද තිවංක පිළිම ගේ නැමැති විහාරයේ ය. මෙම විහාරය ඒ නමින් හැඳින්වෙන්නේ උරහිස, ඉඟ හා දෙදණ යන තුන් තැනකින් වක් වූ බුදු පිළිම වහන්සේ නමක් එහි සිටිනා බැවිනි. මෙහි ගන්ධ කුටියේ බිත්තිවල බුද්ධ චරිතය දැක්වෙන විශාල සිතුවම් තිබූ බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කරවීමත්, විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් මුදවා ගැනීමට ගංගානදිය දිගේ නැවකින් වැඩම කරවීම දැක්වෙන සිතුවමත් තවමත් හඳුනා ගත හැකි ය. මෙම විහාරයේ අන්තරාලයේ බිත්තිවල තීරු වශයෙන් ජාතක කථා සිතුවම් කර ඇති අයුරු පෙනේ. ඒවා අතරින් සස, වෙස්සන්තර, අසංඛවතී,තුණ්ඩිල, විදුර, ගුත්තිල, චුල්ලපදුම, මෛත්‍රීබල හා සාම යන ජාතක කථා සිතුවම් හඳුනා ගත හැකිය. ගන්ධකුටියත් අන්තරාලයත් අතර බිත්තියක දැක්වෙන විශාල දෙව්පිරිසක් ඇතුළත් චිත්‍රයද වැදගත් ය. තුසිත භවනයේ වැඩ සිටින බෝසතාණන් වහන්සේට බුදුවීම සඳහා මනුලොව වැඩීමට කරන දේවාරාධනාවමේ චිත්‍රයෙන් දැක්වෙන බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහස විය. මේ දෙව්පිරිස් අතර අතකින් නෙලුම් මලක් දරා සිටින්නේ බෝසත් තුමා බව කියනු ලැබේ. මේ රූපවල විවිධ හැඩයේ මුහුණු දක්නට ලැබේ. අත්, ඇඟිළි, ඇස් ඇඳුම් හා ආභරණ ඉතා සියුම් වූ රේඛාවලින් ඇඳ දක්වා ඇත. රතු, කහ සහ කොළ යන වර්ණ බෙහෙවින් භාවිත කොට ඇති බව ද පෙනේ. අනුරාධපුර යුගයේ පැවති උසස් බිතු සිතුවම් සම්ප්‍රදාය පොළොන්නරු යුගය දක්වා ම පැවති බව තිවංක පිළිමගෙයි සිතුවම් වලින් සිතා ගත හැකි ය.

 තිවංක පිළිම ගෙය පොළොන්නරුවේ ගල්විහාර පිළිමගෙයි බිත්තිමුල්ලක ඉතිරි වී ඇති රැවුලක් සහිත ප්‍රතාපවත් පුද්ගලයාගේ උඩුකය දැක්වෙන සිතුවම ද උසස් චිත්‍රයකි. දිඹුලාගල මාරවීදිය නම් ස්ථානයේ ද, පුල්ලිගොඩ ගල්ගේ ස්ථානයේ ද පොළොන්නරු යුගයට අයත් තවත් සිතුවම් දක්නට ලැබේ.



මහනුවර යුගයේ චිත්‍ර

පොළොන්නරු යුගයෙන් පසු ව අපට විහාර බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේදී ය. දහඅටවන සියවසේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා පැරණි විහාර රාශියක් අලුත්වැඩියා කරනු ලැබිණ. මේවා අතර බිතුසිතුවම් නිසා ඉතා ප්‍රසිද්ධියට පත් විහාර කීපයක් නම් රන්ගිරි දඹුලු විහාරය, රිදී විහාරය, දෙගල්දොරු විහාරය, හා කැළණි විහාරය යි. මේ විහාරවල දැක්වෙන මහනුවර යුගයේ චිත්‍රවල කැපී පෙනෙන පොදු ලක්ෂණ තිබේ. 

  • වැඩි වශයෙන් ජාතක කථා චිත්‍රයට නගා ඇත්තේ බිත්තිවල කුඩා තීරු වශයෙනි.
  • එක් එක් කථාව හා සම්බන්ධ සිද්ධි රාශියක් අනුපිළිවෙලින් තීරුවල දක්වනු ලැබේ.
  • එක් සිද්ධියේ දී කථා නායකයා නැවත නැවත ඇඳ දක්වනු ලබන මේ චිත්‍ර සම්ප්‍රදාය අඛණ්ඩ කථන ක්‍රමය නමින් හඳුන්වනු ලැබේ.
  • අනුපිළිවෙළින් සිද්ධි නැරඹීමෙන් නරඹන්නෙකුට පහසුවෙන් කථාන්තරය ඉගෙන ගත හැකි ය.
  • මෙම සිතුවම් වල ජීව රූප, ගස්කොලන්, ආදිය දක්වා ඇත්තේ එක ම පාද රේඛාවක ය.
  • රූපවල බාහිර රේඛාව පැහැදිලි ය.
  • අඳුර ආලෝකය නොදක්වා පැතලි වර්ණ යොදා ඇත.
  • බොහෝ චිත්‍රවල පසුබිම තද රතින් හෝ දුඹුරු වර්ණයෙන් දක්වා ඇත.
  • මිනිස් රූප හැරී තිබුණත් ඇස් අඳින්නේ ඉදිරියට පෙනෙන ආකාරයට ය.
  • එසේ ම ඉදිරි බලා සිටින අයගේ පාද අඳින්නේ ඇලයට පෙනෙන ආකාරයට ය.
  • ගස්වල කොළ වෙන්‍ වෙන් ව අඳිනු ලබන අතර, ඒවා මෝස්තර ස්වභාවයක් ගනියි.
  • සිද්ධියක් ප්‍රකාශ කිරීම හැරුණු විට මෙම චිත්‍රවලින් සියුම් හැඟීම් ප්‍රකාශ කිරීමක් සිදු නො‍ කෙරේ.
  • එහෙත් මේ සිතුවම් නරඹන්නාගේ ඇස් පිනවයි.
මේ පොදු ලක්ෂණ නුවර යුගයේ සෑම විහාර බිතුසිතුවම් වල ම දක්නට ලැබෙයි.රන්ගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම්

ඉතා විශාල ප්‍රමාණයේ ලෙන් විහාර පහක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයේ මහා චිත්‍රාගාරයක් ලෙස සැලකිය හැකිය. ලොකු කුඩා බුදුපිළිම වහන්සේලා සිය ගණනක් වැඩ සිටිනා මෙම ලෙන් විහාර ගෙවල බිත්ති හා ගල් සීලිම චිත්‍ර වලින් ම පිරී ඇත. බුද්ධ චරිතයේ සිද්ධි හා ජාතක කථා හැරුණු විට බෞද්ධ ඉතිහාස පුවත් රාශියක් දඹුලු විහාරයේ චිත්‍රගත කොට ඇත. විජයකුමරුගේ ලංකාවතරණය, දුටුගැමුණු එළාර යුද්ධය, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවය, සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම ඒවායින් කීපයකි. ඉඩකඩ ඇති විශාල ගල් බිත්ති හා ගල් පියස්ස නිසා සිත්තරාට විශාල සිතුවම් ඇඳීමට ඉඩ ලැබී ඇත. එක් විහාර ගෙයක ගල් සීලිමේ ඇඳ ඇති මාර පරාජය දැක්වෙන සිතුවම් කොයිතරම් විශාල ද කියතොත් නරඹන්නාගේ දර්ශන පථයට එකවර අසුකර ගත නො හැකිය.

දෙගල්දොරු විහාරයේ බිතු සිතුවම්

මහනුවර ආසන්නයේ පිහිටි දෙගල්දොරු විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවා පූජා කරන ලද්දකි. මෙහි පිළිම ගෙය ලෙන් විහාරයකි. ඒ ඉදිරිපිට සාදන ලද මණ්ඩපයකි. පිළිමගෙයි බිත්තිත්, මණ්ඩපයට මුහුණ ලා ඇති බිත්තිත් සීලිමත් චිත්‍රකරණයට යොදා ගෙන ඇත්තේ ය. බිත්තියේ ජාතක කථා චිත්‍රයට නගා ඇත්තේ කුඩා තීරු වශයෙනි. සීලව , වෙස්සන්තර සුතසෝම හා සත්තුභත්ත මෙහි චිත්‍රයට නගා ඇති ජාතක කථා කීපයකි. වෙස්සන්තර ජාතකයට ප්‍රධාන තැනක් හිමි වී තිබේ. එහි සිද්ධි 25 ක් චිත්‍රයට නගා ඇති අතර, එක් එක් චිත්‍රය යටින් සිද්ධියේ මාතෘකාව ද ලියා ඇත. ඒ සිද්ධි වලින් කීපයක් පිළිවෙළින් මෙසේ ය.

1. සිව් රට සඳමහරජාණෝ රජකරන වග 2. බිහි වූ කෙනෙහි මව් දේවීන්ගෙන් දාන වස්තු ඉල් වූ වග 3. රාජාභිෂේක කළ වග4. අලි ඇතුන් දන්දුන් වග 5. වෙසතුරු රජාණෝ දසරාජ ධර්මයෙන් රජකළ
වග.
නාට්‍ය කලාව හා කථා කලාව
 
පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය ලෙසත් හඳුන්වන්න පුළුවන්.
අද අපේ සැලකිල්ලට භාජනය වන්නේ භාෂාව කෙරෙහි නිසා, භාෂාව සතු වූ කාර්යය දෙකක් තිබෙන බව කිව යුතුයි. එකක් නම්, පඤ්චේන්ද්‍රියන්ට ගොදුරුවන යමක් ඉඳුරා ම කියා පෑම. මීට වාච්‍යාර්ථයයි කියනවා. විද්‍යාවෙහි භාෂාව යොදන්නේ මේ කාර්යය සඳහායි. වෛද්‍ය විද්‍යාවේ ලෙඩ දුක් ගැන, විෂ බීජ ගැන, ඖෂධ ගැන තතු කියා පානව. භාෂාවේ අනිත් කාර්යය මනසට නොවේ හදවතට කතා කිරීමයි. ‘මේ මල් කහ පාටයි’ කියා අපි කීවොත්, නැත්නම් ‘මේ මල් සිනිඳුයි’ යි කියා කීවොත්, එය ඇසට, ස්පර්ශයට ගොදුරුවන ලක්ෂණයක් ගැනයි අපි කියන්නේ. ඒත්, ‘මේ මල් ලස්සනයි’ කීවොත් එය හදවතට ගොදුරු වන දෙයක් ගැනයි අපි කියන්නෙ. කාව්‍යයේ භාෂාව යොදන්නේ මේ දෙ වෙනියට සඳහන් කළ කාර්යය සඳහායි. මේ කරුණ පැරණි කවියෙක් ඉතා පැහැදිලි ලෙස පවසන පද්‍යාර්ථයක් මම කැමතියි උපුටා දක්වන්න.
එනම්:
ගතො සතමර්තො භාතීන්දුර් යාන්නි වාසාය පක්ෂිණ:
ඉත්‍යෙවමාදි කිං කාව්‍යං? වාර්තාමෙනාම් ප‍්‍රචක්ෂතෙ -
ඉර බැස ගියේය, හඳ පායයි, සියොත් කැල වාසය සොයා යති- ඉදින් මෙවැනි දේ කවර කාව්‍යය ද? ඒවා වාර්තා කියා හඳුන්වමු.
හැබැයි මෙවැනි කියමන් රසාත්මක වාක්‍ය වශයෙන් ගිණිය හැකි අවස්ථා තියෙනවා – එනම් කිසියම් අවස්ථාවක රසිකයා තුළ වින්දනයක් දැනවීමට යොදා තිබෙනවා නම් මේ කරුණු අපේ ප‍්‍රස්තුතයෙන් පිට නිසා ඒ ගැන යමක් සවිස්තර ව සාකච්ඡා කිරීමට මම අදහස් කරන්නේ නෑ.
නාට්‍යය, එක් අතකින් බලන විට කථා කථනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. හැම නාට්‍යයකින්ම කථාවක් කියන බව පෙනෙනවා. කාලිදාසයන්ගේ ‘අභිඥාන ශාන්කුන්තලම්’ නම් සංස්කෘත නාට්‍යයෙහි දුෂ්‍යන්ත රජ්ජුරුවන්ට ශකුන්තලා නම් යුවතිය ඈ වෙසෙන ආශ‍්‍රමපදයෙහි මුණ ගැසෙන සැටිත්, ඔවුන් දෙදෙනා උනුන් කෙරෙහි පිළිබඳ සිත් ඇති වන සැටිත්. ඉනික්බිති ව ඔවුන්ට අත් වන ඉරණම යනාදි තතු කියවෙනවා. වෙන කවර නාට්‍යයක් කියවා බැලූවත් පසුබිමෙහි කිසියම් වෘත්තාන්තයක් තිබෙන බව පෙනෙනවා. රත්නාවලියෙහි හෝ වේවා, මෘච්ඡුකටිකාවෙහි හෝ වේවා, එසේ නැත්නම් ශේක්ෂිපියර්ගේ හැම්ලට් නාට්‍යයෙහි හෝ වේවා, මෙම වෘත්තාන්තය දකින්නට ලැබෙනවා. බොහෝ සංස්කෘත නාට්‍යවලට ඇසුරු කොට තිබෙන්නේ ‘රාමායණ’ ‘මහා භාරත’ වැනි ආඛ්‍යානවල ඇතුළත් කථා. නාට්‍යකරුවෝ පුරාණ කථා, ඉතිහාස කථා ආදිය වස්තු කරගෙන නාට්‍යය රචනා කරනවා. ගී‍්‍රක් නාට්‍යය සියල්ලක් ම වාගේ රචනා කොට තිබෙන්නේ දේවකථා ආශ‍්‍රයෙන් බව කවුරුත් දන්නවා.
මෙය මෙසේ නම් අප තුළ ප‍්‍රශ්නයක් පැන නගිනවා. එනම්, කුමට ද මිනිස්සු නාට්‍යය බලන්න යන්නෙ? කථාව අහන්න වෙන්න බෑ – මක්නිසාද යත් අපි කලින් කියූ පරිද, මෙකී නාට්‍යය බොහොමයක් ප‍්‍රකට කථා ආශ‍්‍රයෙන් රචිත ඒවා. හැමදෙනාම ඒවා දන්නවා. එහෙම නම් මිනිස්සු රඟහලට යන්නේ සීතා දේවි, දුෂ්‍යන්ත රජ්ජුරුවො, රාම රජු, රාවණා රජු, වෙස්සන්තර රජ්ජුරුවෝ, මද්‍රි දේවිය ආදීන් සැබැවින්ම දකින්නට ආසාවෙන් ද? නැතිනම් කි‍්‍රෂ්ණජිනා, ජාලිය ආදී ළමයින් දකින්නට ද?
මේ වගේ අත්දැකීමක් මට තියෙනවා. වෙස්සන්තර ආදී ආගමික කථා මිනිසුන්ගේ සිත් තුළට කෙතරම් ගැඹුරට කිඳා බැස තිබෙනවා ද කිව්වොත්, මගේ ‘වෙස්සන්තර නාටකය’ නරඹන්නට පැමිණි, ඈත ගම්බද පෙදෙස්වල අය, රංගය අවසන් වූ විට රඟබිමේ පසුපසට අවුත්. ‘මේ ජාලිය නේද’ මේ කි‍්‍රෂ්ණජිනා නේද කියමින් මේ චරිත නිරූපණය කරන ළමයින් අතගා බලනු මම දැක තියෙනවා. ඒ අයගේ භක්තිය කෙතරම් ද කියතොත් සත්‍යය හා කල්පිතය අතර වෙනස ඔවුන්ට පෙනුණෙ නෑ. මෙය බුද්ධිමත් ප‍්‍රතිචාරයක් නොවන නමුත් එය හෙළා දකින්නට වටින්නෙ නෑ. එහෙත් මෙය නියම රසවින්දනයක් නොවන බව අපි පිළිගත යුතුයි.
එය කෙසේ වෙතත් බුද්ධිමත් පේ‍්‍රක්ෂකයෝ – විශේෂයෙන් නාට්‍යය දැක පුරුදු අය දන්නව, මේ නළුවෝ, නිළියෝ වෙස්සන්තර රජු වශයෙන්, මද්‍රි දේවිය වශයෙන් රඟපානව මිස, සැබැවින්ම ඒ අය නොවන බව. සමහර විට නාට්‍යය නරඹා සමාධියට වැටුණු එක්තරා පේ‍්‍රක්ෂකයකුට ස්වල්ප මොහොතක් යන තුරු මේ සමාධියෙන් මිදී, සත්‍ය හා කල්පිතය අතර වෙනස දකින්නට බැරි වෙන්න පුළුවනි.
මෙවැනි තතු සලකා බලන විට, අපට පෙනෙනව කථාව දැන ගත්තත් රඟහලට යන අය යන්නේ කථාව මොකක් ද කියල දැන ගන්න නෙවේ. එය සිදු වූයේ කෙසේ ද කියා බලාගන්ටයි. සිද්ධිය එක ම වුණත් එය නොයෙක් අයුරින් වර්ණනා කරන්න පුළුවන්. නොයෙක් ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දක්ෂ කථිකයා එකම කථාව විචිත‍්‍ර ආකාරයකින් කියනව – රසවත් කරල. ඔහු එසේ කරන්නේ මුල් කථාව විකෘත කරන්නෙ නැතුව.
නාට්‍යකරුවාගේ කාර්යය, කවුරුත් දන්නා කථාව පේ‍්‍රක්ෂකයන්ගේ සිත් ගන්නා අයුරින් රංග භූමියෙහි නිරූපණය කිරීමය. ඊට ඔහු නළු නිළියන් යොදා ගන්නව. කථාවට අයත් පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්ට. ඔවුන් කිව යුතු දේ ඔවුන්ට උගන්වනව, කිය යුතු ආකාරයත් ඔවුන්ට උගන්වනව. ඒ ඒ දේ කියන විට ඔවුන් හැසිරිය යුතු ආකාරයත් කියා දෙනව. ඔවුන් පරිහරණය කරන උපකරණත් ඔවුන්ට දෙනව. මේවා කඩු කුන්ත යනාදිය වෙන්න පුළුවන්. කථාවේ ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට වෙස් වළාගන්නා ආකාරයත් කියා දෙනව. අවසානයෙහි කථාව බලන්ට රඟහලට පැමිණි පේ‍්‍රක්ෂකයන් ඉදිරියෙහි සැබෑ සිද්ධියක් අනාවරණය වන ව්‍යාජයක් මවා පානව.
මෙසේ රංගභූමිය මත කිසියම් වෘත්තාන්තයක් දෘශ්‍ය ස්වරූපයෙන් දක්වන්ට සැරසෙන තැනැත්තා, ඒ සඳහා ආශ‍්‍රය කරගන්නා කථාව මේ කාර්යය සඳහා යම් ලෙසකින් සකස් කරගත යුතු බව දන්නවා. මුල් කථාවේ ස්වරූපයෙන් ම ඒක ඉදිරිපත් කළොත් පේ‍්‍රක්ෂකයින් රඟහලේ රඳවා ගැනීම අපහසු වෙනව. ශ‍්‍රාවක සමූහයක් හමුවෙහි කියන කථාව දැන් දෘශ්‍ය ස්වරූපයට හරවල රඟහලට ඇවිත් සිටින පිරිසට ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා, කථාවෙන් තෝරාගත යුත්තේ රංගෝචිත කොටස් පමණයි. කථාව වටහා ගැනීමට වෙනත් කොටස් අවශ්‍යයි සිතෙනවා නම්, ඒවා වෙන ආකාරයකින් – වෙන උපායකින් පේ‍්‍රක්ෂකයින්ට දැන ගන්න සලස්වන්න ඕන. රංගයක් නිර්මාණය කරන තැනැත්තා, තමා මේ සඳහා තෝරාගෙන තිබෙන කථාවේ රංගෝචිත කොටස් මොනවා ද, සූචනය කළ යුතු කොටස් මොනවා ද කියලා තෝරා බේරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.
මෙකී දේ ස්ඵුට කිරීමට මගේ නාට්‍යයකින් නිදර්ශනය ගෙන හැර පෑමට වඩා, ප‍්‍රකට නාට්‍යය ශිල්පියෙකුගේ කෘතියක් එනම් ශේක්ෂ්පියර්ගේ හෝ කාලිදාසගේ කෘතියක් විග‍්‍රහ කොට දැක්වුවොත් මැනවැයි සිතෙනවා. ඒත් මේ කථාවට සවන් දෙන ශ‍්‍රාවකයන්ට එම විදෙස් නාට්‍යය එතරම් හුරු නැත්නම්, මම කියන දේ පැහැදිලි නොවෙන්න පුළුවනි. ඒ නිසා මම සිතුවා ඔබ හැම දෙනෙක්ම වගේ දැක පුරුදු නාට්‍යයක් වන මගේ මනමේ නාටකය නිදර්ශනයක් වශයෙන් ගන්න.
මගේ මනමේ නාටකයට ආශ‍්‍රය කොට ඇත්තේ ‘චුල්ල ධනුග්ගහ’ නම් වූ ජාතක කථාවයි. මේ ජාතක කථාව ආශ‍්‍රයෙන් ගම්බදව රග‘පාන නාට්‍යයක් තිබෙනව – ඒ නාට්‍යයේ ධනුග්ගහ කුමාරයා හඳුන්වන්නෙ ‘මනමේ’ යන නමින්. මනමේ කුමාරයා ශිල්ප ඉගෙනීමට තක්ෂලා නුවර පිහිටි විද්‍යායතනයට ගොස් එහි දී දිසාපාමොක් ඇදුරුතුමාගේ සිත් ගන්නා බැවින්, ඔහු ආපසු සිය රටට යන්ට සැරසෙන විට ඇඳුරුතුමා තම දුව ඔහුට බිරිඳ කොට විවාහ කර දෙනවා. දෙදෙනා පිටත් වී යන අතරමඟ දී ඔවුන්ට වනන්තරයක් හරහා යන්ට සිදුවෙනවා. එහි දී මස් අනුභව කරමින් හුන් වැදි රජෙකුයි ඔහුගේ සෙනගයි ඔවුන්ට මුණ ගැහෙනවා. තමා සාගින්නෙන් පෙළෙන බව කියන කුමාරයා බිසව යවනව වැද්දන් වෙතට මස් කෑල්ලක් ඉල්ලන් එන්න කියා තමාට කන්ට. බිසව දකින වැදි රජ්ජුරුවෝ ඇය කෙරෙහි උපන් පිළිබඳ සිත් ඇති ව, කුමාරයා හැර දා තමා සමග එනමෙන් ඇයට ඇවිටිලි කරනවා. බිසව වැද්දන් දෙන මස් අරගෙන සැමියට දෙනව. ඒත් මස් අමු නිසා කුමාරයා කන්න කැමති නෑ. වැද්දන් වෙත මස් වීසි කරන මෙන් කුමාරයා බිසවට කියනව. මීට වැද්දෝ කිපී කුමාරයා සමග සටනට එළැඹෙනවා. කුමාරයා වැද්දන් සියලූ දෙනා පරාජය කොට වැදි රජු සමග සටනට යනවා. සටනෙහි දී කුමාරයාගේ කඩුව ඔහුගේ අතින් ගිලිහෙනවා. බිසව කඩුව අහුලා වැදි රජු අතට දෙනව. වැදි රජ කඩුවෙන් ඇන කුමාරයා මරනව. බිසව වැදි රජු සමග යන්ට සැරෙසනවා. ඒත් මග දී වැදි රජ්ජුරුවෝ ඇයට කියනව තිගේ ආභරණ මට මුදා දෙව. මම ගඟින් එගොඩ ගොහිල්ලා ඒවා තැන්පත් කරල ඔබව එක්කං යන්න එනවා’ කියලා. බිසව, වෙන කරන්න දෙයක් නැති නිසා අභරණ ගලවා දෙනවා. වැදිරජ ඒවා ඇරගෙන බිසව වනාන්තරේ හැර දමා යන්ට යනවා.
මුල් කථාවේ රංගෝචිත නොවන සිදුවීම මම ඉවත දමලා සකස් කරලා තියෙන සැටි ඔබ දන්නව ඇතැයි මම සිතනවා. මගේ නාට්‍යයෙහි කුමාරයා සටනට යාමට පෙර තම කඩුව බිසව අතට දෙනව. ඔහු වැද්දා අභිබවා බිසවගෙන් කඩුව ඉල්ලන විට ඈ කියන්නේ ඉතා සාධාරණ දෙයක්. ඇගේ දෙගිඩියාව නිසා ඇති වූ අවකාශයෙන් ප‍්‍රයෝජනය ගත් වැදි රජ්ජුරුවෝ බිසවගේ අතින් කඩුව උදුරා කුමාරයා මරනව.
මගේ ප‍්‍රධාන අධ්‍යාශය වූයේ, මුල් කථාවේ තියෙන විදියට බිසව පතිද්‍රෝහි ගැහැනියක් ලෙස දක්වා තිබීම වෙනස් කරන්නයි. අවස්ථාව කෙතරම් ඉක්මනින් අනිත් අතට පෙරළේ ද කියතොත් ඈට තීරණයක් ගැනීමට ඉඩක් ලැබෙන්නේ නෑ. තම සැමියා මැරූ වැදි රජ්ජුරුවන්ට ඈ දොස් කියනවා. එහෙත් තමාගේ ආරක්ෂාවට ඔහු කෙරෙහි ළැදිකමක් පෙන්වීමට ඇයට සිදුවෙනවා. එහෙත් ඇයගේ උපක‍්‍රමය සාර්ථක වෙන්නේ නෑ. ඔබේ දිවිය මම ගලවාගත්තා ය කියූ විට වැදි රජ කිපී ඇය පලවා හරිනවා.
මනුෂ්‍යයන්ට ආකස්මික ව මුහුණ පාන්නට සිදු වන යම් අවස්ථාවල දී ප‍්‍රඥාගෝචර තීරණයක් ගැනීමට බැරි වෙනවා. මේ දෙගිඩියාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දුක් දොම්නස් මහා මේඝයකට හසු වී නැසී යනවා.
මම මුල් කථාව මේ අයුරින් සංස්කරණය කොට රංගභූමිය මත දැක්වූයේ පේ‍්‍රක්ෂකයන් තුළ බිසව කෙරෙහි අනුකම්පාවක් අති කොට ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට තුඩුදීම සඳහායි. මේ අයුරින් බලන විට මනමේ නාට්‍යය නරඹන පේ‍්‍රක්ෂකයා තුළ සාන්ත රසයක් ඇති වෙනව. ජීවිතයේ අස්තීරත්වය මෙනෙහි කරමින් ඔවුහු සමාධියට සමවැදෙනවා. රංගභූමියෙන් යන්නෙ මෙබඳු සමාධියකිනි.

Friday, February 24, 2012

සිංහල නවකතාව

කවියක් කියවා හෝ අසා හෝ රස විඳීමට වඩා කතාන්තරයක් ඇසීමට හෝ කියැවීමට ශ්‍රාවකයාට හෝ පාඨකයාට විවේකයක් අවශ්‍ය වන්නේ ය. කවිය ශ්‍රමයෙහි ප්‍රතිඵලයක් ලෙසත් කතාව විවේකයේ ප්‍රතිඵලයක් ලෙසත් ලූෂුන් නමැති චීන නවකතා විචාරකයා පවසා ඇත්තේ එබැවිනි. කතාව, හේතුඵල සම්බන්ධය කෙරෙහි අවධානයෙන් ගෙතිය යුත්තක් මෙන් ම එහි දී වැදගත් වූයේ කිසියම් සිද්ධියක් විස්තර කිරීමට වඩා එහි පිළිගත හැකි හා තර්කාන්විත භාවය ය.
එහෙත් සමාජය වෙනස් වීමත් ශ්‍රාවකයන්ගේ හා පාඨකයන්ගේ ආකල්පවල ඇති වූ වෙනසක් හේතුවෙන් කතාවේ අන්තර්ගතයෙහි මෙන් ම ආකෘතියෙහි ද වෙනසකට මග පෑදිණි. අන්තර්ගතය අනුව මෙන් ම රචකයාගේ අරමුණ ද අනුව කතා වර්ගීකරණය වූයේ ය. අප දන්නා තරමට කතාන්තර පිළිබඳ විධිමත් පැරණිතම කතාන්තර වර්ගීකරණය දකින්නට ලැබෙන්නේ බුදු දහමෙහි එන යම් යම් කරුණුවල ය.
එවැනි වර්ගීකරණයක් භාවිත කොට ඇත්තේ, ධර්ම දේශක භික්ෂුන් නොපැවසිය යුතු අවධානය යොමු නොකළ යුතු කතා මොනවාදැයි පැහැදිලි කිරීමේ දී ය. දෙතිසක් පමණ වන එම වර්ගීකරණයට හසු නොවන කතාවක් නැති තරම් ය. එමෙන් ම එවැනි වර්ගීකරණයක් දක්වන්නට ඇත්තේ එවැනි කතාන්තර එකල සමාජයේ ප්‍රචලිතව තිබු නිසා බව ද පැහැදිලි වන කරුණකි.
එමෙන් ම එවැනි වර්ගීකරණයකට හේතුව වන්නට ඇත්තේ එම කතාන්තරවල දක්නට ලැබු අන්තර්ගත කරුණුවල විශේෂත්වය ද සැලකිල්ලට ගැනීමෙනි. රාජකථා, චොරකථා, භයකථා, යුද්ධකථා, සයනකථා, ඉත්ථිකථා, ගාමකථා, නගරකථා, අන්‍යකථා, ආදි වශයෙන් කරන ලද වර්ගීකරණයෙන් එවැන්නකට හේතුව, අන්තර්ගතය වන්නට ඇති බව කෙනෙකුට සිතිය හැකි වන්නේ ය. එවැනි කතා ඇසීම, කීම හෝ රචනා කිරීම තහනම් වූයේ භික්ෂුන්ට වුව ද ඒ පිළිබඳ තහනමක් ගිහියන්ට නොවූයේ ය. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වන්නේ ගිරා සන්දේශයෙහි අම්බලමේ වැනුමෙහි එන මේ කවයි.

‘නොයෙක් මිසදිටු ගත්
අයෙක් කව්නළුරස දත්
පෙර තමතමනුග ත්
රාමසීතා කතා තෙපල ත්’

එහෙත් සමාජයේ විදග්ධයන් වූ භික්ෂුහු එකල ඔවුන් ලියන දේවල දී දෙතිස් කතා ලියන්නට හෝ දෙසන්නට හෝ වෑයම් නොකළහ. ගිහියන් අතර පැවැති දෙතිස් කතා අවස්ථාවෝචිත හා රුචියට ගැළපෙන පරිදි ජනශ්‍රැතියෙහි ම පැවැති අතර කිසි ලෙසකින් ග්‍රන්ථාරූඪ වූයේ නොවේ.
සාක්ෂරතාව පැතිර යෑම, මුද්‍රණ ශිල්පය නිසා කිසියම් ආකාරයකට පුවත්පත් සහ පොත් බහුල වීමත් සමඟ සාම්ප්‍රදායික විදග්ධ ගද්‍ය ස්වරූපයෙහි වෙනසක් ඇති වුව ද දෙතිස් කතා ඔවුන්ගේ සැලකිල්ලට යොමු නොවූයේ ය. එක්තරා ආකාරයට මුලින්ම සිංහල පාඨක පිරිස කිසියම් කැලඹීමකට පත් වූයේ 1892 වර්ෂයේ දී පිටු 834 කින් යුතුව ‘අරාබි නිසොල්ලාසය’ සිංහලයට පරිවර්තනය වීමත් සමඟ ය. ඒ වන විට ද රසවත් කතා ඇසීමේ පුරුද්ද ජනයා අතර ප්‍රචලිතව පැවැතිය ද ඒවා ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව ලේඛකයන්ගේ අවධානයක් යොමු නො වූ බව පෙනේ. සති පොළ, පෝදා පොළ වැනි ජනයා රැස්වන තැන්වල දී තෙලේ බෙහෙත් වැනි දේ විකුණන්නවුන් ජනයා ඒකරාශි කොට ගත්තේ රසවත් කතා කීමෙනි.
ඒවා ධර්ම කතා නො ව ලෞකික කරුණු හෝ සමාජයේ විසු ජන වීරයන් බවට පත්වූ උතුවන්කන්දේ සරදියෙල් අප්පු, වීදියේ බණ්ඩාර වැනි චරිත පදනම් කොට ගත් සාමාන්‍ය ජනයාට රසවිඳිය හැකි කතාන්තර වූයේ ය. මේ තත්ත්වය කලාතුරකින් තවමත් ගම් පෙදෙස්වල පොළවල දී දැකිය හැකි ය. ලෞකික කරුණු පදනම් කොට ගත් මෙවැනි කතාන්තර ජනයා අතර ජනපි‍්‍රය වුව ද ජනකවිය තුළ වෙනසක් සිදු වෙමින් පැවැතිණි. විසිවන සියවසේ මුල් භාගයේ සිට අග භාගය දක්වා ප්‍රචලිතව පැවැති කුඩා කවිකතා පොත්, කවි කොළ මඟින් මෙම වෙනස සිදු වූ සේ පෙනේ.
එම කවි කතා අතර බෙහෙවින් දක්නට ලැබුණේ ජාතක කතා වුවත් ජන සාහිත්‍යාංගයක් ලෙස ඒවා ජනපි‍්‍රය වූයේ ජාතක කතාවල නම්වලින් නොව නවතාවකින් ඉදිරිපත් කළ නම්වලිනි. නිදසුන් වශයෙන් ජත්තපානි ජාතක කතාව, කවි කතාවක් බවට පත් වූයේ, ‘පුතාගේ මස් උයා කෑ පියා නොහොත් ඡත්තපානී ජාතකය’ වශයෙනි. ‘අරුම පුදුම කෑදර බල්ලා හෙවත් මහා කණ්හ ජාතක කථාව‘, ‘පතිවතක බල මහිම හෙවත් මණිචෝර ජාතක කතාව‘, ‘අරුම පුදුම ගෑනු ලෙඩේ හෙවත් හාරිත ජාතක කතාව‘, ‘කපටි සුන්දරි හෙවත් අන්ධභූත ජාතකය’, ‘අරුම පුදුම දොළදුක හෙවත් රන කකුළු ජාතක කතාව‘ ඉහත කී කරුණට තවත් නිදසුන් කිහිපයකි.
ජාතක කතා හැරෙන්නට කවි කතා වශයෙන් ඉදිරිපත් කැරුණු ආගමික සිද්ධස්ථාන විස්තර හා වෙනත් රටවලින් ගත් කතා ද දක්නට ලැබේ. ජනයා අතර ප්‍රචලිතව තිබු ‘රසවත් කතාන්තර’ කුඩා පොත් ලෙස ප්‍රචාරයට පත් නොවී ‘කවි කතා පොත්’ ජනයා අතර ප්‍රචලිත වන්නට හේතු වූයේ ඒ වන විට ද කියවා රස විඳීමට වඩා අසා රස විඳීමට කැමැති බහුතරයක් සමාජයේ සිටි බැවිනි.
මුල් කාලීන ගද්‍ය ප්‍රබන්ධකරුවන් ලෙස සැලකෙන සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඇල්බට් ද සිල්වා වැන්නවුන්ගේ ගද්‍ය ප්‍රබන්ධවල කිසියම් අමුත්තක් දක්නට ලැබුණේ ඇල්බට් ද සිල්වාගේ සහ සයිමන් ද සිල්වාගේ ප්‍රබන්ධවල පමණි. ස්ත්‍රී චරිත ප්‍රධාන චරිතය කොට ගත් විහාරමහා දේවියගේ වැනි කතාන්තර අසන්නට පි‍්‍රය කළ සාමාන්‍ය රසිකයන් අතර ස්ත්‍රී චරිත ප්‍රධාන කොට ගත් ඇල්බට් ද සිල්වාගේ ‘විමලා සහ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ පදනම් කොට ගත් ලෞකික ප්‍රබන්ධ කථා සම්ප්‍රදායයක් ජනපි‍්‍රය නොවී පියදාස සිරිසේනයන්ගේ ‘වාසනාවන්ත විවාය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’ පසු කාලීන ප්‍රබන්ධ කතා ප්‍රවණතාවක් බවට පත් වූයේ කාලීනව පැවැති වාද විවාද පිළිබඳව පැවැති ජනපි‍්‍රයත්වය නිසා ම දැයි කෙනකුට සිතෙන්නට පුළුවන.
 දහනව වන සියවසේ අගභාගයේ එනම් විසි වන සියවසේ මුල් දශක දෙක තුන තුළ ඇති වූ මෙම තත්ත්වයෙහි වෙනසක් දක්නට ලැබෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ආගමනයත් සමඟ ය. එතෙක් දක්නට ලැබුණේ එකම වර්ගයෙහි ලා සැලකිය හැකි අරමුණ අතින් උපදේශාත්මක වූ ගද්‍ය නිර්මාණ යැයි හැඳින්වීම අසාධාරණයක් ලෙස නොසිතේ. පියදාස සිරිසේනයන් සිය නිර්මාණවල අන්තර්ගතයෙහි කිසියම් වෙනසක් ඇති කළ ද ඔහු කළ එම වෙනස ඔහුගේ අරමුණ සමඟ ගළපා ගැනීමේ හේතුවෙන් ඒවා ද උපදේශාත්මක ගුණයෙන් පරිපූර්ණ වූ සේ පෙනේ.
නිදසුන් වශයෙන් ශ්‍රීමත් කොනන් ඩොයිල්ගේ ආභාසයෙන් ලියූ ‘කොන්ගොඩ වික්‍රමපාලගේ’ කෘතිවලින් පවා ඉස්මතු වූයේ කුතුහලය නොව උපදේශාත්මක මතවාදයන්ම ය. ප්‍රබන්ධ කථාවක තිබිය යුතු විචිත්‍රත්වය හා වෙනස පිළිබඳ අවබෝධයක් මුල් යුගයේ සිංහල කතාකරුවන් අතර පැවැතිය ද යථාර්ථවාදී නවකතාව බිහිවන තෙක් ම පැවැතියේ ඒකාකාරී ස්වභාවයක් යැයි කීම අතිශයෝක්තියක් ලෙස නොසිතේ.
නවකතාව හා ප්‍රබන්ධ කථාව අතර ඇති වෙනස පැහැදිලි කෙරෙන, පැරැණි එහෙත් තවමත් පිළිගැනෙන බටහිර අදහසක් වෙයි. 18 වන සියවසේ එනම් 1785 දී බටහිර විචාරිකාවක වූ ක්ලාරා රීව් නවකතාව හා ප්‍රබන්ධ කථාව අතර ඇති වෙනස පැහැදිලි කොට ඇත්තේ මෙසේ ය, ‘නවකතාව වූකලී එය ලියැවුණු වකවානුවෙහි පැවැති සිරිත් විරිත් හා යථාර්ථවත් ජීවිතයේ චිත්‍රයකි. ප්‍රබන්ධ කථාව වූකලී විභූතිමත් සාඩම්බර භාෂාවකින් ලියැවුණු කිසි දිනෙක සිදු නොවූ හෝ කිසි දිනෙක සිදු විය හැක්කක් නොවේ’ වශයෙනි.
විසිවන සියවසේ දී මෙම පිළිගැනීම වෙනසකට පත් වූයේ සමාජ සන්දර්භයෙහි ඇති වූ වෙනස පදනම් කොට ගෙන ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද පැහැදිලි කළ ආකාරයට, ‘නවකථාවක් යයි කියනු ලබන්නේ ප්‍රධාන වශයෙන් කල්පිත වූ කථාවකට ය. මෙවැනි කෘතිවලට ‘ප්‍රබන්ධ කථා’ යි පළමුවෙන් සිංහලයෙන් ව්‍යවහාර කරන්නට යෙදුණේ පැරැණි සාහිත්‍යයෙහි නොවූ රචනා විශේෂයක් හැඳින්වීමට විය යුතු ය. ජාතක කථා හෝ සිංහල ගද්‍ය පොත්වල තිබෙන වෙනත් කථා, කල්පිත කථා හැටියට සලකනු නොලැබේ... ගද්‍යයෙන් රචිත කවර කාල්පනික කථාවකට වුව ද ප්‍රබන්ධයක් යැයි මේ තේරුමෙන් කිව හැකි නමුත්, ප්‍රබන්ධ කථාවල ද නොයෙක් නොයෙක් විශේෂ තිබේ.
නායක නායිකාවන්ගේ චිත්ත චෛතසික විභාගයට හා චරිත නිරූපණයට වැඩි වෙහෙසක් නොගෙන හුදෙක් බාහිර වෘත්තාන්තය පමණක් කියන කථාවලට නවකථා නොව ගද්‍ය ආඛ්‍යාන යැයි කීම යුක්ති සහගත සේ පෙනේ.’ සරච්චන්ද්‍රයන් සයිමන් ද සිල්වාගේ සිට වික්‍රමසිංහ දක්වා වූ කථාන්තරකරුවන් හඳුන්වන්නේ මුල් නවකතාකරුවන් ලෙසට ය. ගද්‍ය ආඛ්‍යානකරුවන් ලෙසට ම නොවේ.
පියදාස සිරිසේනයන්ගේ ‘වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’ කෘතිය වසර දහයක් තුළ පිටපත් 25,000 ක් විකුණන ලදුව පස්වන මුද්‍රණයක් ද සකස් කරන්නට සිදු වූ බව කියැවෙයි. එයට පසුව වැඩිපුර පාඨක පිරිසක් කියැවූයේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ කෘතීන් බව පැහැදිලිව පෙනෙන කරුණකි’ මෙයට හේතුව වශයෙන් අපට දැක්විය හැකි වන්නේ, ආගමික ශ්‍රාවක සමාජය - ලෞකික පාඨක සමාජයක් බවට පත් වීම ය. සිල්වා මහතාගේ නවකතා ජනපි‍්‍රය වූයේ කතා කියැවූ පාඨකයන් අතර මිස කථා ඇසූ ශ්‍රාවකයන් අතර නොවේ.
එකල බටහිර ජනපි‍්‍රය ව තිබු ඉංගී‍්‍රසි නවකතාවලින් හා වෙනත් බටහිර කෘතිවලින් ආභාසය ලැබු ඔහු දේශීය වශයෙන් ආභාසය ලැබුවේ ඇල්බට් ද සිල්වා සහ සයිමන් ද සිල්වාගෙන් යැයි සිතීම අසාධාරණ යැයි නොසිතේ. විමලා සහ මීනා වැනි ස්ත්‍රී චරිත ප්‍රධාන චරිත ලෙස එම නවකතාවල දක්නට ලැබෙන්නා සේ ඩබ්ලිව්. ඒ. සිල්වා ද සිය ප්‍රථම නවකතාව ‘සිරියලතා’ ලෙස නම් කළේත්, ලක්ෂ්මි සහ කැළැහඳ වැනි නවකතාවල ස්ත්‍රී චරිතයට ප්‍රධාන තැනක් දුන්නෙත් මුල් නවකතාකරුවන්ගේ ආභාසයෙන් දෝයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
නවකතා ආකෘතියෙහි මෙන් ම අන්තර්ගතයෙහි ද වෙනසක් දක්නට ලැබෙන්නේ විචාරකයන් පිළිගන්නා පරිදි වික්‍රමසිංහයන්ගේ යථාර්ථවාදී නවකතාව ලෙස සැලැකෙන ‘ගම්පෙරළිය’ත් සමඟ ය. එය අර්ථ නිරූපණයට ම අනුව කාලීන සමාජය මෙන් ම එකී සමාජයේ ආකල්ප හා සිරිත් විරිත්වල ද යථාර්ථවාදී චිත්‍රයක් වූයේ ය. එහෙත් සිල්වා මහතාගේ නවකතා කියවා පුරුදු වූ අයට රස විඳිය හැකි කථාන්තරයක් හෝ කුතුහලයක් එහි නොවී ය. එබැවින් වික්‍රමසිංහයන්ගේ කෘති කෙරෙහි විචාරකයන් විසින් ඇති කරන ලද්දේ කාලාන්තරයක් වර්ධනය වෙමින් පැවැති ආකල්පවලට වෙනස් කෘත්‍රිම අගයක් ආරෝපණය කිරීමක් දැයි කෙනෙකුට සිතීම වැළැක්විය නො හැකි ය.
වික්‍රමසිංහයන්ම ‘උපන්දා සිට’ කෘතියෙහි සඳහන් කරන ආකාරයට එතුමන්ගේ සමහර කෘති විකුණුනේ ඒවා පාඨශාලීය පොත් වශයෙන් අනුමත කිරීමත් සමඟ ය. ‘ගම්පෙරළිය’, ‘විරාගය’ වැනි කෘති වඩා ප්‍රචලිත වූයේ ද ඒවා විභාගවලට නියමිත කෘතීන් බවට පත් වීමත් සමඟ ය. එහෙත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘කැලෑහඳ’, ‘හිඟන කොල්ලා’, ‘විජයබා කොල්ලය’, ‘දෛවයෝගය’, ‘සුනේත්‍රා’ වැනි කෘති ජනයා අතර ජනපි‍්‍රය වූයේ ඒවා විභාගවලට නියම කරන්නට බොහෝ කලකට පෙරදී ය. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ තවද එක් විශේෂතාවක් වූයේ ය. එනම් ඔහු නිර්මාණකරණයෙහිම යෙදී සිටියා හැරෙන්නට මානව විද්‍යාව, දර්ශනය, විචාරවාද ආදිය කෙරෙහි සිත් යොමුනොකිරීමය. ඩබ්ලිව්. ඒ. සිල්වා ‘කතා රජකු’ ලෙස මිය ගිය අතර වික්‍රමසිංහ මහතා මිය ගියේ ප්‍රාඥයකු ලෙසට ය.
නිර්මාණයන්හි විවිධත්වය හා විචිත්‍රත්වය පාඨක රුචියෙහි වර්ධනයට මෙන් ම රුචිකත්වය ඉහළ මට්ටමකට ගෙන එන්නට ද සමත් වෙයි. 60 දශකය තුළ සිංහල නවකතාව තුළ දක්නට ලැබුණේ එවැනි විවිධත්වයක් හා විචිත්‍රත්වයකි. ඒවා ජනපි‍්‍රය පේ‍්‍රමකථා පදනම් කොට ගත් නවකථා වුව ද ඒවාට හොඳ වෙළෙඳ පොළක් මෙන් ම ඉල්ලුමක් ද පැවැතිණි. ඒ හැරුණු විට විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක කථා, අද්භූත කථා, ඓතිහාසික කථා වශයෙන් විවිධතා එම නවකතාවන්හි දක්නට ලැබිණි. කෙටි කලක දී කියවා හමාර කළ හැකි වූ එම නවකතා, එතෙක් ඉහළ පන්තිය හා මැද පන්තිය පදනම් කොට ගත් සමාජ පසුබිමින් වෙනස්ව සමාජයේ පහළ ස්තර කෙරෙහිද අවධානය යොමු කරන ලද්දේ ය.
ඒවායෙහි කතුවරු වුව සමාජයේ විදග්ධ පසුබිමට අයත් වූවෝ නොවූහ. එහෙත් මෙම තත්ත්වය වැඩි කලක් නොපැවැත්තේ ය. චිත්‍රකථා පොත් සහ පත්තර පාඨක පිරිස අද්දවා ගත්හ. ජනපි‍්‍රය නවකතාව කෙරෙහි වූ අවධානය පාඨකයන් වෙතින් ම ගිලිහෙත් ම කථා රසයට වඩා ජීවිතයේ හා සමාජයේ යථාර්ථවත් නිරූපණ දක්නට ලැබෙන නවකතා විභාග විෂය මාලාවට ඇතුළත් වූයේ ය. නැති වූ වෙළෙඳ පොළ රැක ගන්නට ව්‍යාපාරිකයන්ට වෙනත් මං සොයන්නට සිදු විය. අවර ගණයේ ශෘංගාර නවකතා රැල්ලක ආරම්භය සිදු වූයේ එහි ප්‍රතිඵල විසිනි.
රුසියානු හා වෙනත් භාෂාවලින් පරිවර්තනය වූ නවකතා සිංහලයට පිවිසියේ ද මෙම වකවානුව තුළ දී ම ය. ඒ සමඟ රුසියානු කතුවරුන්ගේ ආභාසය ද අපේ නවකතාකරුවන්ට ලැබෙන්නට වූයේ ය. කලා විෂය ධාරාවට වඩා විද්‍යා සහ වාණිජ විෂය ධාරා කෙරෙහි ශිෂ්‍යයන් ඇදී යෑම ද නවකතාවේ පාඨක සහභාගිත්වය කෙරෙහි වක්‍ර ආකාරයකට බලපෑවේ ය.

ඩයස්‌පෝරක කවිය සහ ඇම්පෝරක විචාරය

ඩයස්‌පෝරක කවිය සහ ඇම්පෝරක විචාරය
  
    සිංහල කවියට හදිසියේ ම ඩයස්‌පෝරක හැඩරුවක්‌ ලැබෙමින් පවතින අතර එයට මුට්‌ටිය අල්ලන ඉංග්‍රිසි විචාර ද කඳු ගැසෙමින් තිබේ. ඩයස්‌පෝරාව යනු ස්‌වදේශය හෙවත් තමා උපන් රට ගැන උනන්දු වන විදේශගතව වෙසෙන ප්‍රජාව යන අර්ථය සපයන ඉංග්‍රිසි වචනය වන අතර ඇම්ෆොරා (amphora) යනු ග්‍රීක හෝ රෝම කෞතුක වස්‌තුවක්‌ ලෙස සැලකෙන මැටි භාජනයකි. මේ හදිසි ඩයස්‌පෝරක ආක්‍රමණය හා ඊට උඩගෙඩි දෙන ඇම්පෝරක විචාරය කුමක්‌ද? මේ කුමන්ත්‍රණය කොයි තරම් දුර ගොස්‌ තිබේද යත් මීට මාස කිහිපයකට පෙර පුදුමාකාර දෙයක්‌ සිදු විය.
ඉංග්‍රිසි විචාරකයකු සහ සිංහල කථිකාචාර්යවරයකු අතර විවාදයක්‌ ඇති විය. ඒ විවාදය මධ්‍යයේ මගේ නමින් ඊ-මේලයක්‌ යට කී ඉංග්‍රිසි විචාරකයා වෙත ලැබුණි. එමගින් හඟවන ලද්දේ මා යට කී කථිකාචාර්යවරයාගේ කල්‍යාණ මිත්‍රයකු ලෙස ඔහු වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වී සිටින බවයි.


 
එමගින් යට කී ඉංග්‍රිසි විචාරකයා කොයි තරම් දුරට නොමග යවන ලද්දේ ද යත් ඔහු එම ඊ-මේලය පාදක කර ගනිමින් සිංහල සාහිත්‍යය සහ සමකාලීන සිනමාව විවේචනය කරමින් විචාරයක්‌ ලිවීය.
සිංහල සාහිත්‍ය සහ එහි නූතනවාදය සම්බන්ධයෙන් හරවත් විචාර ඉදිරිපත් කළ අජිත් සමරනායක, රෙජී සිරිවර්ධන වැන්නන්ගෙන් පසු ඉංග්‍රිසි විචාරය තුළ ඇති වී තිබෙන මේ කනගාටුදායක තත්ත්වය ඉංග්‍රිසි විචාරයේ අරාජිකත්වයේ සහ ඩයස්‌පෝරක ආක්‍රමණයේ ප්‍රතිඵලයකි. ඉංග්‍රිසි විචාරයෙහි ප්‍රවාද සහ විචාරාත්මක අන්තර්ගතය අද කොයි තරම් බාල තත්ත්වයකට පත්වී තිබේ ද යත් ෆ්‍රෙඩ්‍රික් නිෂේ වැනි ඉන් ප්‍රකට චින්තකයකු සිංහල කලා විචාරය සඳහා අදාළ කර ගන්නා විට නිෂේගේ ග්‍රන්ථ මාලාවේ අනුපිළිවෙළ දක්‌වමින් විශ්වකෝෂ විචාර ඉදිරිපත් කරන තත්ත්වයට වැටී තිබේ. නිවාඩුවකට මෙරටට පැමිණි ඩයස්‌පෝරාවේ සාමාජිකයකු ප්‍රේමසිරි කේමදාසගේ අග්නි ඔපෙරාව සම්බන්ධයෙන් මෙවැනි වෘෂභ ප්‍රශ්නයක්‌ ඇසුවේය. මෙහි නිර්මාණකයන් ඔපෙරා නරඹා තිබේදර? ඔහු තරුණ ශිෂ්‍යයකුට මෙසේ කීවේය. ඔබ ප්‍රංශ භාෂාව නොදන්නා නිසා ෆූකෝල ඩෙරීඩාල රෝලන්ඩ් බාර්ත ආදීන් ගැන කතා නොකළ යුතුය. අදෝමැයි ඔහු එම චින්තකයන් සහ විචාරකයන් ගැන ප්‍රථමවරට අසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දීයෑ.

ඇම්ෆොරා (amphora)

මේ නන්දොඩවිලිවලට පාදක වන්නාවූ යථාර්ථය අනෙකක්‌ නොව ඩයස්‌පෝරකයාගේ ශිසොෆ්‍රීනියාවය හෙවත් භින්නෝන්මාදයයි. තමාට කිරි පෙවූ, තමා හැදූ වැඩූ, තමාට නොමිලේම ඉගැන්වූ දේශය ඔහුට ලැකානියානු සිඟිති ප්‍රේම ප්‍රාර්ථනා වස්‌තුවකි
(object petit a) ඔහු එය තමා තුළ මර්දනය කර ගෙන සිටියි. වැඩි වැටුප්, පම්පෝරිය, ඉංග්‍රිසි පරිසරය, වෙනත් අතිරික්‌ත වාසිවලට ඉඩ දෙමින් ඔහු ඒ මර්දනයට ස්‌ව කැමැත්තෙන් යටත් වෙයි. ඒ මර්දනය මත ලැග සිටින ඩයස්‌පෝරකයා මතුපිට කතාවෙන් හා කතිකාවෙන් තමා උපන් රට පිළිබඳව සියල්ල දත්, අවසාන සත්‍යය ද දත් සෘෂිවරයකු, බව හඟවන අතරේ උපන් රටේ ආර්ථික ප්‍රශ්න, යුද්ධය, උද්ධමනය, වාහන තදබදය යනාදිය උපුටා දක්‌වමින් එරට තුට්‌ටු දෙකට දමා එම භින්නෝන්මාදය තුළ තමා සතපවා ගනියි. එක්‌ ඩයස්‌පෝරක කාන්තාවක්‌ පැවසුවේ තමා වාසය කරන රටේ උසස්‌ තනතුරු දරන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව භාර දුන්නොත් මේ රට දියුණුවන බවයි. මේ මානසික තත්ත්වය මෙතෙක්‌ වී. එස්‌. නායිපෝල් වැනි ලේඛකයකු විසින් පවා ග්‍රහණය කර නොගන්නා ලද යථාර්ථයකි.
ඩයස්‌පෝරක කවිය බිහි වන්නේද එම හිස්‌ටෙරික යථාර්ථයෙනි. ඊට රිද්මයක්‌ විනා කාව්‍යමය අන්තර්ගතයක්‌ නැත. වපසරියක්‌ හෝ පොළොවක්‌ හෝ නැත. ඇම්පෝරක විචාරය උත්සාහ දරන්නේ ඊට අත්දැකීම් තලයක්‌, වපසරියක්‌, පොළොවක්‌ ඇති බව කියන්නට ය. සිසැක්‌ගේ භාෂාවෙන් කියතොත් මේවා විචාර කලාවේ අතිරික්‌ත ප්‍රමෝදයන්ය. සල්මන් රෂ්ඩි, මයිකල් ඔන්ඩච්චි වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන් සාහිත්‍යකරණයෙහි යෙදෙන්නේ ඊට හාත්පසින් වෙනස්‌ සමාජ පසුතල මත බව ඔවුන් විසින් ලියන ලද ප්‍රබන්ධාත්මක නොවන කෘතීන්ගෙන් මැනවින් පැහැදිලි වේ.
කවිය යනු කවියා, යථාර්ථය සහ පාඨකයා යන ත්‍රිකෝණය ඇසුරේ බිහිවන්නක්‌ බව නවසීලන්ත සාහිත්‍ය මහාචාර්යවරයකු වන සී. කේ. ස්ටීඩ් පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි කවියා, යථාර්ථය සහ පාඨකයා යන ලක්ෂ්‍ය තුන හරහා ආතති රේඛාවන් විහිද යයි. මේ රේඛා තුන කාලය, ස්‌ථානය කවියා සහ පාඨක සමාජය අනුව වෙනස්‌ වේ. එනම් එම රේඛාවන් කෙටි හෝ දිග විය හැකිය. සමහර විට කවිය සහ පාඨක සමාජය අතර සම්බන්ධතාව කිට්‌ටු වී එම ලක්ෂ්‍යයන් දෙක සම්බන්ධ කරන රේඛාව කෙටි වෙයි. එවිට යථාර්ථය නමැති ලක්ෂ්‍යය කවිය සහ පාඨකයා යන දෙදෙනාගෙන්ම දුරස්‌ වී එම ලක්ෂ්‍යයන් දෙක යථාර්ථය සමග සම්බන්ධ කරන රේඛා දීර්ඝ වේග එනමුත් ත්‍රිකෝණයේ එම දික්‌වීම නිසා කවියේ ගෙල මිරිකෙයි. කවිය තනි තරුවක්‌ ලෙස යථාර්ථයෙන් බොහෝ දුරස්‌ වී, හුදෙක්‌ කවියා සහ පාඨකයා එකිනෙකා රවටා ගන්නා එකඟත්වයක්‌ ලෙස පෙනී යන බව සී. කේ. ස්‌ටීඩ් පෙන්වා දෙයි.
ඩයස්‌පෝරික කවිය මෙවැන්නකි. එය යථාර්ථයෙන් බොහෝ ඈත්ව කවියා සහ පාඨකයා විසින් ඇති කර ගන්නා ලද රැවටිලි සහගත එකඟත්වයකි. මේ නරුම සම්බන්ධතාවේදී පාඨකයා ද ව්‍යාජයකි. ඔහු කවියාගෙන් බොහෝ දුරස්‌ථව, ඔහුගේ ස්‌ථිර පදිංචියට ඈතින් වූ කාල අවකාශයක වෙසෙන්නෙකි. කවියාට ලිවීමට සිදුවන්නේ තමාට වරප්‍රසාද සපයන රටින් බැහැරව වෙසෙන පාඨකයකු වෙනුවෙනි. මෙලෙස අද ඩයස්‌පෝරක කවිය බිහිවී තිබෙන්නේ ඩයස්‌පෝරක කවියා සහ සිංහල ඊනියා පාඨකයකු අතර ඇති රැවටිලි සහගත සම්බන්ධයක ප්‍රකාශනයක්‌ ලෙසට බව ඉතා පැහැදිලිය.
ඇම්පෝරක විචාරයේ ද ඇතුලාන්තය තේරුම් ගත හැකි වැදගත් ලිපියක්‌ අනීතා දේශායි ලියා ඇත. එය ඇය විසින් සල්මන් රෂ්ඩිගේ මැදියම් රැයේ දරුවෝ වෙනුවෙන් ලියන ලද පෙරවදනයි. ඇය පවසන්නේ බලවන්තයන්ට එක්‌ භාෂාවක්‌දල, බලය රහිත වූවන්ට තව භාෂාවක්‌ද වශයෙන් භාෂා දෙකක්‌ ඉන්දියාව තුළ තිබුණේය යන කාරණාව නොසලකා හැරීම ඓතිහාසික විරෝධී බවයි. ශතවර්ෂ ගණනකට එපිටදී සංස්‌කෘත භාෂාව එම කාර්යය ඉටු කළේය. ඉන්දියාවේ මුස්‌ලිම් පාලනයට පසු පර්සියානු භාෂාව එම කාර්යය ඉටු කළ අතර එය රාජ සභාවේ, නීතියේ රාජ්‍ය පාලනයේ භාෂාව විය. පසුව එම කාර්යය ඉංග්‍රිසීන් විසින් ඉටු කරනු ලැබූ අතර ඊට අතිරේකව කලාත්මක නිෂ්පාදනය විෂයෙහි පුද්ගලිකත්වය, අයිතිය සහ ලිපි හිමිකම වැනි නව සංකල්ප එමගින් හඳුන්වා දෙන ලද බව අනීතා දේශායි පවසයි. ඇම්පෝරක විචාරය ද මේ පදනමින් මතුවී ඇති අතර ඉංග්‍රිසිය ප්‍රජාතන්ත්‍රවාදී වීමට එරෙහිව පැරැණි බලහත්කාරය සමකාලීන කලාව මත පටවයි. ඊට විචාරාත්මක අන්තර්ගතයක්‌ නැති නිසා එය සමකාලීන සිංහල විචාරයෙන් ණයට ගනියි. එම ණය ගෙවනු වෙනුවට කරන්නේ යල් පිනූ අධිපතිවාදය ව්‍යාප්ත කිරීමේ අසාර්ථක වෑයමක යෙදීමයි.

කවිය වු කලි මානව ශිෂ්ටාචාරය සතු උත්තම කලාමාධ්‍යයකි. එය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කිරිමට පුරාතන යුගවලදී පටන්ම පෙර - අපර දෙදිග සාහිත්‍යය විචාරකයෝ වෑයම් කළහ. මෙම පරිච්ඡේදයේ අරමුණ වන්නේ කවිය පිළිබඳව සහ සාහිත්‍යය විචාරයේදි කවියේ අලංකාර වශයෙන් ගැනෙන අංග අතර ඇති උපමාව සහ රූපකය පිළිබඳව හැදින්වීමක් කිරිමයි. කවිය සහ කාව්‍යාලංකාර වශයෙන් ගැනෙන ඉහත දැක්වු උපමාව සහ රූපකය පිළිබඳව හැඳින්වීමට පෙර කවිය යනු කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත්ය. මතු දැක්වෙන්නේ කවිය පිළිබඳව ඉදිරිපත්ව ඇති විචාරක මත කිපයකි.

කවිය යනු

  • 'කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි. '
එස්. ටී. කොලරිජ්
  • 'ආකෘතික පරිසමාප්ත භාවයට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිත වන්නේය.'
ටී. එස්. එලියට්
ටී. එස්. එලියට්
  • 'පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වු කලි කවියයි.'
විලියම් ගැස්ට්ලි
  • 'රසය ආත්මය කොටගත් වාක්‍යය කවියයි. '
විශ්ව නාථ
  • 'රමණිය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයයි.'
ජගන්නාථ
  • 'එක්තැන් වු ශබ්දය හා අර්ථය කාව්‍යය වේ.'

මේ ආකාරයෙන් කවිය නිර්වචනය කිරිමට පෙර - අපර දෙදිග සාහිත්‍යයවේදිහු මහත් වෙහෙසක් දැරූහ. නමුත් කවිය පිළිබඳව ඉහත නිර්වචන විමසා බැලිමේදි පෙනී යන්නේ එම මතයන් කවියේ එක අංශයක් පමණක් ආවරණය වන පරිදි ගොඩනැඟී ඇති එවා බවයි. සාහිත්‍යමය සහ සංකිර්ණමය කලා මාධ්‍යයක් වශයන් කවිය සියුම් නිර්මාණ කාර්යයකි. සියුම් වු ප්‍රකාශන මාධ්‍යයකි. කවියේ මුඛ්‍යාංගයන් විමසීම සහ ඒවායේ නිශ්චිත කාර්යභාර්ය විමසීමෙන් කවිය පිළිබඳව සහ එහි රස නිෂ්පත්තිය පිළිබඳව අධ්‍යයනය අවබෝධය ලබාගත හැකිය.

කවියක් ඇතැම්විට මුල - මැද - අග යන තෙවැදැරුම් අංග සහිත ආඛ්‍යානමය නිර්මාණයක් විය හැකිය. තවත් අවස්ථාවක එවන් ආඛ්‍යානමය නොවන නිර්මාණයක් විය හැකිය. කවියකු මෙම නිර්මාණ දෙවර්ගයෙහිදීම අත්දැකිමක් සුචනයකොට චමත්කාර දැනවිම අපේක්‍ෂා කරයි.කව්සිළුමිණ, සසදාවත, ගුත්තිලය වැනි සම්භාව්‍ය පද්‍යය මෙන්ම සුදෝසුදු, පියසමර ආදී නුතන කාව්‍ය කෘති ඉහත දැක්වු ආඛ්‍යානමය තත්ත්වයේ කාව්‍යයන්ට උදාහරණ ලෙස දැක්විය හැකිය. ආඛ්‍යානමය නොවන කාව්‍යය සඳහා ගුණදාස අමරසේකරගේ උඳුවප් ඇවිල්ලා, පී.බී. අල්විස් පෙරේරාගේ අන්ධ කවියා ආදී නිර්මාණ දැක්වීමට පුළුවන.මෙම නිර්මාණ වල අනුභූතින් විමසා බැලිමේදි ඒ ඒ නිර්මාණ විෂයයෙහි බලපවත්නා විවිධත්වය මනාව පැහැදිලි වෙයි. කව්සිළුමිණ, සසදාවත ආදී සම්භාව්‍යය කාව්‍යයෝ ජාතක පොත මුල් කරගනිමින් කුස ජාතකය හා සස ජාතකයේ ආලෝකය අනුව ලියැවී ඇත. උඳුවප් ඇවිල්ලා වැනි පද්‍යය නිර්මාණයක් බිහිවන්නේ උදුවප් මස ඇතිවන පරිසරයේ ප්‍රමුදිත බව සෞන්දර්යය ආදිය විචිචිත්‍ර ආකාරයෙන් දක්වමිනි.නාට්‍යකරුවාත්, ප්‍රබන්ධකරුවාත් සිය නිර්මාණය ව්‍යාප්ත කරනුයේ අත්දැකිම මුල්කරගනිමිනි. ඔවුහු අත්දැකිම් පුනරූපණය කරති. සමාජ, සංස්කෘතික සහ ආගමික පමණක් නොව දේශපාලනමය වශයෙන්ද සීමා මායිම් තුළ කොටුවීම සහ සීමා මායිම් පැනයාම මෙම නිර්මාණ කාර්යයන්හිදි දැකිය හැකිය. කවියාගේ නිර්මාණ කාර්යයද ඒ ආකාරය. නාට්‍යයකරුවා සතර අභිනය සහ ප්‍රේක්ෂක ප්‍රතිපෝෂණය නිරන්තරයෙන් ලබමින් පියවරෙන් පියවර සංවර්ධනය වෙයි. ඒ සඳහා ඔහුට සජිවි පරිසරය තුළින්ම සහයෝගය ලැබෙයි. මන්ද යත් නාටකයක් වනාහි සජිවි රඟ දැක්වීමක් වන බැවිනි. වර්තමාන රඟ දැක්වීමට ලැඛෙන්නාවු ප්‍රතිපෝෂණය මත අනාගතය තීරණය කිරිමට සහ සංශෝධනය කිරිමට නාට්‍යකරුවාට පැහැදිලි වරමක් හිමිවෙයි. කවියාගේත් පොදුවේ ගත් කල මුලූ මහත් සාහිත්‍යකරුවාගේත් මාධ්‍යය භාෂාවයි. ඔවුන් සියල්ලෝම සිය අත්දැකිම් ප්‍රකාශ කරනුයේ වචන මගිනි. ඉහත දැක්වු පරිදි නාට්‍යකරුවාට වචන අතික්‍රමණය කොට තවත් බොහෝ අංගවල පිහිට පැතිමට හැකියාව ඇත. කවියාගේ නිර්මාණයේ උත්කර්ෂය තීරණය වන්නේ ඔහු විසින් උපයුක්ත භාෂා මාධ්‍යය මතම පමණකි. එයට හේතුව කවිය හුදෙක් අලංකාර මුල්කරගත් නිරතුරුව ඒවා මතම රැඳී පවතින්නක් වන බැවිනි. මෙම තත්වය විචාර වාදයන් අතර පවා නිර්වාදයෙන් පිළිගනු ලබන්නකි.

කවියා නිරතුරුව භාෂාවේ පවත්නා ව්‍යංජනා ශක්තියෙන් ප්‍රයෝජන ලබන්නෙකි. තමා යොදා ගන්නා සෑම වචනයකම ඇති වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ මතුකර ගැනීමට උත්සහ දරන්නෙකි. වාර්තා සහ ශාස්ත්‍රිය ලේඛකයා වාග්කෝෂමය අර්ථ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. ඉහත දැක්වු කවියා සතු ගුණයන්ට අයිතිවාසිකම් කිමට අනෙක් නිර්මාණකරුවන් අපොහොසත්ය.

කාව්‍යාලංකාරය සම්පාදනය කළ භාමහ පඬිවරයාගේ "ගතෝස්තමර්කො භාතීන්දුර්යන්තී වාසාය පක්ෂිණ:" යන ශ්ලෝකය උපුටා දක්වමින් සිරී ගුණසිංහ මෙය වඩාත් පැහැදිලි කරයි. "හිරු බැස ගියේය. සඳ බබළයි. පක්ෂිහු කැදලි කරා යති" යනුවෙන් කියු පමණින් බිහිවන්නේ කවියක් නොව වාර්තාවකි. භාමහගේ මෙම උදාහරණයෙන් හැඳින්වෙන භාෂාව ලෝකව්‍යවහාරයැයි සිතිය හැක.ක.

ව්‍යංග්‍යවර්ථවත් බවින් පරිපුර්ණ වු භාෂාවක් යොදා ගත් පමණින් කවියක් චමත්කාරජනක නොවෙයි. එහිදි පද සංඝටනය ඉතා වැදගත්ය. ප්‍රායෝගික විචාරවාදයේ ආදි කර්තෘවරයා ලෙස ගැනෙන අයි.ඒ.රිචර්ඩ්ස් පවසනුයේ කවියෙකුගේ විශේෂත්වය රඳා පවතින්නේ වාග් කෝෂයෙහි විශාලත්වය මත නොව වචන සංඝටනය තුළ බවයි. කවියා යොදා ගන්නේ සමාජයේම පවතින භාෂාවකි. විශේෂත්වය වනුයේ ඒවා විශේෂ ආකාරයට ගොනු කිරිමයි. සිංහල සමාජය තුළ "පැදකුණු කිරිම"වැනි පදයක් යොදා ගනු ලබන්නේ වතාවත් කිරිමකදී, විශේෂ ගෞරව දැක්විය යුතු ක්‍රියාවකදි වැනි අවස්ථා විෂයෙහිය. බොහෝවිට බෝධි පුජා ආදියේදි බෝධිය වටා පැදකුණු කිරිම, බුදු සිරිතේ එන මහාමායා දේවි හීනයේ සුදු ඇත් පැටවා සිරි යහන පැදකුණු කිරිම වැනි අවස්ථා අපට දකින්නට අසන්නට ලැබේ. සත්තුභත්ත ජාතකය ගුරුකොට ගනිමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමි රචනා කළ කාව්‍යශේඛරයේ එන පහත පද්‍යය ධ්වනිත කරවන අදහස කාව්‍යකරුවෙක්ගේ පද සංඝටනය පිළිබඳව අදහස මනාව පැහැදිලි කරවයි.
"පැදකුණු කොට එළ ඳ
සිව් තැනක බැස හෙව වැ ඳ
බියෙනැකිළි වැල ඳ
නිකට ගෙන සිඹ කියා පෙම්බ ඳ "

මෙහි යෙදෙන "පැදකුණු"යන පදය ඉහත දැක්වු පරිදි සාමන්‍යය ව්‍යවහාරයේ යෙදෙන්නේ පුජනීය අරුත ගම්‍යමාන කරමිනි. මහලූ බමුණා තරුණ බැමිණිය කෙරෙහි දක්වන ආකල්පයත්, කතුවරයා බමුණා කෙරෙහි දක්වන ආකල්පයත් මනාව ධ්වනිත කරවයි.
"රන් යහනේ සැතපෙන මගෙ බිසවුන් ට
ලංකර කුමරු බැෙලූවෝතින් යහන පි ට
රන්ලිය වැලකි සිරි හස්තය කුමරු පි ට
පින්කඳ බිසොව සැතපෙන සැටි දුටුනෙත ට "

යශෝධරාවතෙහි එන ඉහත කවිය බෝසතාණන් වහන්සේ යශෝධරා බිසව කෙරෙහි දක්වන සෙනෙහස ආත්මීය බැඳිම සහ එතුළින් පණ ලැබු බැඳිම් හි පවත්නා ජිවි බව මනාව පැහැදිලි කරවයි. භෞතික පරිසරයන්ට පවා මානවිය ආධ්‍යාතමය ප්‍රාණය කැන්දාලන වගට මෙම උද්ධෘතය සාධක සපයයි. සිදුහත් බෝසතුන් බිසව දකින්නේ පිං කඳක් ලෙසිනි. ඇගේ හස්තය රත්තරන් වැලක් පරිද්දෙන් රාහුල කුමරුගේ ශරිරය මතින් වැටී ඇත. චංචල රූප මාධ්‍යය සහෘදයා දකී. මසැසින් නොව මනසිනි. නිශ්චල සිතින් යුතු සිදුහත් කුමාරයෝ සිය බිසව දෙස බලනුයේ මහත් වු සෙනෙහසකිනි, භක්තියකිනි. මෙහි යෙදෙන"රන්ලිය වැල", "පින්කඳ" වැනි පදවලින් මානුෂිය ගුණාංග අභිභවා ගිය උතුම් බවක් ගෙන දෙන්නට සමත්වෙයි. තනි වචන වශයෙන් නොව සමස්ත පද්‍යය සංඝටනාව තුළ එම පද අර්ථ නංවයි. කාව්‍යය තුළ ගොඩ නැංවෙන චරිත එම චරිතවල පවත්නා ගුණාංග ආදියද සහෘදයාගේ සාහිත්‍යයකාමි මනස තුළ ව්‍යංග්‍යාර්ථ නංවන්නේ මෙලෙස සමුහ වශයෙන් සුසැදීමෙනි.

ධ්වනිතාර්ථ නංවමින් සහෘදයා තමා වෙත පවත්වා ගත හැකි ආකාරයේ කාව්‍යොක්ති බිහිවන්නේ එහි යෙදෙන ගැළපෙන පද සංයෝජනයෙන් බව පෙනේ. කාව්‍යකරණය වෙනුවෙන් වු සම්මත පද මාලාවක් පිළිබඳව අදහස විවිධ අවස්ථාවල දී දක්නට ලැඛෙයි. කිසියම් කොටසක ව්‍යවහාර භාෂාව එම කාලය එම යුගය හෝ අදාළ වපසරිය වෙනුවෙන් ලියැවෙන කවි සඳහා යොදාගත යුතු බව ඇතැම් කවීන් පැවසීය. සෑම භාෂාවකම කාව්‍යකරණයට වෙන්වු යෝග්‍යය වචන ඇති බව ඔලිවර් ගෝල්ඩ්ස්මිත් පවසා ඇත. නමුත් මෙම මතය වර්තමානය වන විට පිළිනොගන්නා තත්වයට පත්ව තිබේ. කවියටම විශේෂිත වු සාධු සම්මත පද මාලාවක් නොමැති අතර කවියෙකු යොදාගන්නා භාෂාව තීරණය කරනුයේ එම කවියාගේ නිර්මාණය අනුවය.

කවියේ මුඛ්‍යාංගයන් අතර වැදගත් වන්නා වු සාධකයක් ලෙස සංකල්ප රූප දැක්විය හැකිය. මතු දැක්වු පරිදි කවියා නිරතුරුව අපුර්ව ආකාරයට සිදුකරන පද සංයෝජනයේ ආත්මීය ප්‍රකාශනයක් ගැබ්වන්නේ සංකල්පරූප තුළය. පාඨකයාගේ මනෝභාවය වෙත පිවිස ඔහුගේ භාව්‍ය ප්‍රමුදිත කිරිමට සමත් වාග් වියමන සංකල්ප රූපයක් ලෙස දැක්විමට හැකිය. එය සිතුවමකි. හුදෙක් භාෂාවේ පවත්නා රසකාරකයන් යොදාගෙන මනසේ චිත්‍රණය කරන වාග් සිතුවමකි.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ නළඟන වැනුමෙහි එන පහත කවිය සංකල්ප රූප පිළිබඳ අදහස විමසා බැලිමට යොදාගත හැකිය.
"විදෙන ලෙළෙන නරුබර පුළුලූකුළැරැඳී
හෙළන නඟන අත නුවනඟ බැලූම් දිදි
රුවින දිලෙන අබරණ කැලූම ගත රැදි
සැලෙන පහන් සිලූවැනි රඟන ලියසැදි"

රාහුල හිමියන්ගේ මෙම කවියෙන් සහෘදයා තුළ චිත්තරූප කීපයක් මැවේ. මෙම කවියෙහි කියවෙන"සැලෙන පහන් සිලූවැනි රඟන ලිය සැදි"යන පදය රඟන්නා වු ලියන්ගේ උත්කර්ෂවත් බව කූටප්‍රාප්ත කරන්නකි. පළමු තෙපදයෙන් වර්ණනාවට සහ හඳුන්වාදීමට පාත්‍ර වු ලියන්ගේ ස්වභාවය පහන්සිලකට උපමා කිරිම ඇස හා බැඳුනු චිත්තරූප ලෙස හැඳින්විය හැකිය. විහිදෙමින් ලෙළදෙමින් පුළුලූකුලේ බැඳි ආභරණවලින් සහ තාලයට ලෙළදෙන අත් අගට යොමුවන දෑසින් යුත් ලියන් නර්තන විලාසය විචිත්‍රව ඉදිරිපත් කරන බව පෙනේ. එයින් රහල් හිමි නිරූපණය කරනුයේ ඔවුන්ගේ රංගනයේ මධුර බව සහ ශක්‍යතාවය පමණක් නොවේ. කවියෙක් වශයෙන් උන්වහන්සේ සතු ප්‍රතිභාපුර්ණ බවද පෙන්වයි. අනතුරුව සැලෙන පහන්සිලකට ඔවුන් උපමා කිරීම එම ලියන්ගේ නර්තනයෙන් ලැඛෙන්නා වු ප්‍රමුදිත බව රංග භූමියේ වු ආලෝකවත් වීම පවා මනසට චිත්‍රණය කරයි. පහන්සිලක් සුළඟට සැලෙන්නේ මදක් ලාලිත්‍යය දනවන ස්වරූපයකිනි. එය විටෙක පහන් තිරයෙන් මිදී යාමට උත්සහ දරයි. තවත් විටෙක තිරයේ මුල සිට ලතාවකට ලියවැලක් සේ රඟදෙයි. කවියාගේ ප්‍රතිභාව අතිශය චමත්කාරය. එයින් රසිකයා ලබන ආනන්දය කමනීයය.

මෙම සංකල්ප රූප භාවිතයෙන් කවියකට සැලසෙන මෙහෙය විවිධාකාරය. කවියාගේ මනසේ මතුවන මනෝභාවයන් උත්කර්ෂයෙන් යුතුව සහ සාධනීය ලෙස දැක්වීමට සංකල්ප රූප උපකාර වේ. මෙම සංකල්ප රූප කෙටි සහ නිර්මාණශීලි විය යුතුය. එනම් නවතාවයෙන් යුක්තවීම සහ එය ක‍ෂණයකින් සහෘදයා ග්‍රහණය කරගැනීමට හැකි ආකාරයේ සංකල්පීය ලක්ෂණවලින් යුක්ත විය යුතුය. හර්බට් රීඩ් නම් ඉංග්‍රීසි කලා විචාරකයා පවසන පරිදි කවියෙකුගේ ස්වාධීන ප්‍රතිභා ශක්තිය විමසා බැලිමේදී ඔහු යොදාගෙන ඇති රූපකවල නවතාව කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. එමෙන්ම එම සංකල්ප රූප කවියා සිය නිර්මාණයේ නිරූපණය කරන භාවයන්ට සහ ඔහුගේ අභිප්‍රාය වන මුඛ්‍යය රසයටත් අනුකූල විය යුතුය. මෙම උපමාවක් සහ සංකල්ප රූප නිසිලෙස හසුරුවාලීම කවි ශක්තිය ප්‍රකට කරවන ප්‍රශස්තම ලක්ෂණය වශයෙන් ඇරිස්ටෝටල් පඬිතුමා පවා සැලකීය.

සුභාවිත විචාරවාද අතර පද්‍ය රසාස්වාදනයට හා විචාරයට ඉතා උචිත විචාර ක්‍රමයක් ලෙස සලකනුයේ ප්‍රායෝගික විචාර ක්‍රමයයි. මෙම විචාර ක්‍රමයේ ආදී කර්තෘවරයා වශයෙන් ගැනෙන්නේ 1929 දී සාහිත්‍යය විචාරයේ මුලධර්ම සහ ප්‍රායෝගික විචාරය යන ග්‍රන්ථද්වයේ රචකයා වු අයි.ඒ. රිචඩ්ස්ය. එතුමා දක්වන පහත කරුණු මගින්ද මෙතෙක් විස්තර වූ කාව්‍යයේ සාර්ථකත්වයට බලපාන සාධක පිළිබඳව සාකච්ඡාව තහවුරු කරයි. එනම්,
උද්දේශය :- කාව්‍යය නිර්මාණයෙහි ලා මුල් වු අත්දැකිම, මාතෘකාව හෙවත් වස්තු විෂය
භාවාකල්පය  :- රචකයා විසින් සිය අත්දැකිම ඉදිරිපත් කරන ආකාරය
ස්වරය  :- අත්දැකිම නිරූපණය මගින් රසිකයා විෂයෙහි රචකයා දක්වන ආකල්පය
අභිප්‍රාය  :- සමස්ත නිර්මාණයෙන් අපේක්ෂා කරන අරමුණ හෙවත් කියවී ඇති දේ

කාව්‍යය පරිකල්පනයේදී සහෘදයන් තුළ චමත්කාරය සහ රසය ජනනය වන ආකාරය බස භාවිතා කිරිමෙන් ව්‍යංගාර්ථ නැංවීම, ධ්වනිතාර්ථ දැනවීම පිළිබඳව කරුණ ඉදිරිපත් විය. සංකල්ප රූප ගොඩනැංවීමේ සාර්ථක ක්‍රම කිපයක් හඳුනාගත හැකිය. ඒවා කාව්‍යොක්ති වශයෙන් හඳුන්වනු ලැබේ. පෙරදිග විචාරයට අනුව අලංකාර පන්තිසක් හඳුන්වාදී තිබේ. පුරාණ අලංකාරිකයන් දක්වන එම කාව්‍යාලංකාර ගැඹුරු සහ සියුම් බව යන ද්විත්ව ලක්ෂණයන්ගෙන් එකිනෙකට වෙනස් වෙයි. වර්තමාන විචාර වාදයන් බටහිර විචාර දෙසට බහුලව යොමුවීම හේතුවෙන් මෙම පුරාණ අලංකාර වෙතින් කාව්‍ය රසිකයා සහ විචාරකයා දුරස්වන බවක් දක්නට ඇත. පහත දැක්වෙන්නේ එම පුරාණ අලංකාර අතරින් උපමාව පිළිබඳව හැඳින්වීමකි.

උපමාව

මෙරට කාව්‍යය රචකයන්ගේ ගුරුතැන්හි ලා සලකන සහ මෙරට සාහිත්‍යය ඉතිහාසයේ ශේෂව ඇති පැරණිතම ග්‍රන්ථ ත්‍රිත්වයෙන් එකක් වන සියබස්ලකර ග්‍රන්ථයෙහි උපමාව විස්තර වන්නේ පහත ආකාරයෙනි.
" කියත එක් පළඟක්
තැ නෙක් හි වු යම්සේ
උවම් නමෙ'හි විතර
නියර කියනෙම් හෙ මෙසේ "

"කිසියම් වස්තු දෙකක සදෘෂ්‍යතාව ගුණාදී වු යම් අයුරකින් ප්‍රකාශ කිරිම උපමා නම් වේ "
ඒ අනුව උපමාවක් මගින් කෙරෙනුයේ එක් දෙයක් තවත් දෙයකට සමාන කර දැක්විම ලෙස සැකෙවින් දැක්විය හැකිය. සියබස්ලකර එම පද්‍යයට ගුරු වු කාව්‍යාදර්ශ ශ්ලෝකය පහත පරිදිය.
"යථා කතඤ්චිත් සාදෘශ්‍යං
යත් රොද්භූතං ප්‍රතීයතෙ
උපමා නාම සා තස්‍යඃ
ප්‍රපඤ්චෝයං නිදර්ශයතෙ"

එම සංස්කෘත ශ්ලෝකයට අනුව උපමාවක් පහත අංග හතරෙන් සමන්විත වෙයි. උපමේයය :- වර්ණනයට පාත්‍රවන වස්තුව උපමානය  :- සමාන කරන බැහැරින් ගන්නා වස්තුව සාධාරණ ධර්මය :- වස්තු දෙකම අතර පිහිටි ලක්ෂණ වාචකය  :- උපමා ද්‍යොතක මෙන්, සේ, වැනි පද
ඒ අනුව උපමාව යම් වස්තුවක් ඒ හා සමාන ගුණ ඇතැයි සැලකෙන තවත් වස්තුවක් හෝ ක්‍රියාවක් සමඟ සමපාත කිරිමක් සිදුවෙයි. උපමේයය හා උපමානය ලෙස ගැනෙන්නේ එම අංග ලක්ෂණයි.
  • සඳවැනි මුහුණ
  • තවද ජීවිතය තණඟ පිණි බිඳක් මෙන් සි‍‍‍‍‍ඳෙන නියාවද
  • වළදින අදහසින් මෙන් සුරඟන අඟන
නළ බල සසල දළ රළ පෙළ නුඹ නැගෙන
වැනි පද්‍ය සහ ගද්‍ය පාඨ ගතහොත්"සඳ වැනි මුහුණ"යන්නෙහි මුහුණු සඳකට උපමා කළ බවක් පෙන්වයි. භෞතික වශයෙන් ගුණාගුණ වෙනස් වුවද කවි සමයෙහි සඳ ගැනෙන්නේ සෞම්‍යය, සිසිල උපදවන, මට සිළුටු, ප්‍රියංකර වස්තුවක් වශයෙනි. සඳ එළියේදි ලබන පහස සිසිලස දක්වනු වස් යුවතියකගේ මුහුණ සඳ වැනි යයි ප්‍රකාශ කිරිම කවි සමයේ දක්නට ඇත. නිකළැල් යන අර්ථය සූචනය කිරිම සඳහා ද සඳ වැනි යන උපමාව යොදා ගනී. මෙහි මුහුණ උපමේයය වන අතර උපමාන වස්තුව සඳ වෙයි. සාධාරණ ධර්ම ලෙස එම වස්තූන් දෙකෙහිම ඇතැයි සැලකෙන මතු දැක්වූ ගුණ දැක්විය හැකිය. වාචකය ලෙස දක්වන ලක්ෂණය උපමේයය හා උපමානය අතර සබඳතාව දක්වන පදයයි. එවන් පද කිහිපයක් උපමාව සම්බන්ධයෙන් හඳුනාගත හැකිය. මෙන්, සේ, වැනි, වගේ, බඳු යන වාචකයන් මෙහිලා දැක්වීමට පුළුවන.

උපමා වාචක

  • මෙන්:-" මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති "

  • සේ :- "කෙසරිඳු සෙ එක සර
සතුරු උවදුරු දුරු කර
ලක එකත පත් කර
දෙවෙනි රජසිහ රජකරන වර "
  • වැනි:-"මගෙ දිවි වැනි දෙවන
පියබඳට ගෙයි දැවටෙන "
  • වගේ:-"නිකං ආව
අතීතෙ මතක් වෙලා
ඉඳගෙන හිටියා අපි මූද අයිනෙ
මගේ අතින් මල වැටුණා දිය රැල්ලට
ගහගෙන ගියා ඒක අන්ධකාරෙ
ආපහු අපි ආවෙ ගොළුවො වාගෙ
දැන් කොච්චර කල් වෙනවද
අවුරුදු විසි පහක් තිහක්
මම යන්නං "

මෙහි වගේ යන පදය යෙදී ඇත්තේ වාගේ යනුවෙනි.
බඳු :-"හිරුදයෙහි සිට රු දු
කිහිරතුරු රැසකට බ ඳු
කකියන දිමුතු සු දු
සියුම් වැල්ලෙන් සැදී ගත් හු දු"

එම වාචකයන්වලට පරිබාහිර වු තවත් වාචකයන් යොදා ගනිමින් උපමාවන් නිර්මාණය කර ඇති අවස්ථා සිංහල සාහිත්‍යයෙහි දක්නට ලැබේ. පහත එන කවි ඒ සඳහා උදාහරණ කොටගත හැකිය.
"සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටි න
නිසි පුළුලූකුළ රිය සක'යුරු තිසර ත න
දිසි රන ලියෙ'ව් රූසිරි යුත් මෙපුරඟ න
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟ න"

සැළලිහිණි සංදේශයේ ජයවර්ධනපුර වැනුමේ ඉහත කවියේ වර්ණනාවට පාත්‍ර වන්නේ ජයවර්ධන පුරවරයේ කාන්තාවන්ය. ඔවුන් ඇසිපිය හෙලන නිසාවෙන් පමණක් දෙවඟනන් නොවන බවට කවියා පවසයි. ස්ත්‍රී ශරීරාංග පිළිබඳව වර්ණනා කරන කවියා පුර්වයෙන් දැක්වූ මෙන්, සේ, වැනි, බඳු උපමා වාචක වෙනුවට "යුරු" නම් වාචකයක් යොදා ගනී. එය ආකාරයේ, අයුරු, නොහොත්, අයුරින් යන පදයන්ට සමාන අර්ථ නිර්මාණය වනසේ කවියා යොදාගෙන ඇති බවක් පෙන්වයි. "දිසි රන ලියෙ'ව්"යන පද්‍ය ඛණ්ඩයේ එන ලියෙ'ව් යන යෙදුමේ අර්ථය " එව් "යන්න ලෙස කෙටි කොට යොදාගත් බවක් පෙනේ. එයින් රන්වැල් ආකාරයේ පුරඟනන් යන අර්ථය ඉස්මතු කරවයි.

නව උපමා වාචක

පී.බී. අල්විස් පෙරේරා කවියාගේ පහත කවියද එවන් නවමු උපමා වාචකයක් පෙන්වන කවියකි.
"සමන් මලිගේ පියයුරු දැක නැවත හැරී
තබන් නෙමි අලූත් උවමක් කොහොම හරී
පැලෙන්නට ඉතා ළං වුණ සුළං පිරී
ජපන් බැලූම් යුගලෙක යනු නොවෙද සරී"
මෙහි අවසන් පද්‍ය පාඨයේ එන "ජපන් බැලූන් යුගලෙක යනු නොවෙද සරි"යන්නෙහි "යනු"පදය සමානත්වය දැක්වීමට කවියා යොදා ගත් බවක් පෙන්වයි. එයින් සමන්මලි නම් යුවතියගේ පියයුරු යුවල පැලෙන්නට ආසන්න වන ලෙස සුළං පිරවු බැලූම් යුගලයක් ලෙස කවියා දක්වයි. මෙහිදී ප්‍රශ්නාර්ථයක් නඟන ආකාරයෙන් උපමාව ඉදිරිපත් කර ඇත.
පරාක්‍රම කොඩිතුවක්කුගේ "ගඟට උඩින් කොක්කු ගියා"නිසඳැස් පද්‍යයේ එන පහත උද්ධෘතයේ "විලසින්" යන පදය උපමා වාචකයක් ලෙස දක්වා ඇත.
"පියරු උලා සැන් තවරා හැන්දෑ යාමේ
රාස්සිගේ අව්රැල්ල පාවී ගොස්
කිරි දෝලා
පලවැල ගෙන
අඳුරේ විජ්ජුලතාවක් විලසින්
අම්මා නුඹෙ එවිද ආපසු "
වීදි සරණ ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවකට දාව උපන් දරුවෙකු මහමඟ දමායාමක් පිළිබඳව කියවෙන පද්‍ය පංතියකි මෙය. දරුවාගේ මව ඔහු වෙනුවෙන් දායාද වශයෙන් ලබාදී ඇත්තේ කිරි කළයකි. එනම් කිරි සොයන බඩගිනි වන ළයක් පමණකි මව ඔහුට දායාද කර ඇත්තේ. එම දරුවාගේ මව පිළිබඳව දක්වන ඍජු පද්‍ය ඛණ්ඩයක් වශයෙන් ඉහත පද්‍ය ඛණ්ඩය යොදා ගෙන ඇත. වීදි සරන්නියක් සන්ධ්‍යා සමයෙහි සිය වෘත්තියට පිවිසෙන්නේ වත්සුනු, ආලේපණ, ආභරණ වලින් සැරසීමෙනි. බැසයන සුර්යාලෝකයෙන් බබලන ඇගේ කණකර ආභරණ වල දිලිසීම සහ ඇගේ වතෙහි ඇති තත්වය සලකා ඇය විජ්ජුලතාවකට උපමා කර ඇත. විදුලිය ක්ෂණයකින් ඇතිවී නැතිවී යන්නකි. ඇගේ ස්වභාවයද පෙනුමද මොහොතකට පමණි. එම කරුණුවල සමානත්වය දක්වනු වස් මග සකසාගන්නා කවියා ඇය විජ්ජුලතාවකට සමාන කරයි. ඒ "විලසින්" යන උපමා වාචකය යොදා ගනිමිනි.මෙම උපමා වාචකයම "විලස" වශයෙන් යොදා ගත් අවස්ථාවක් මනමේ නාටකයෙහිදී අපට හමුවේ.
"විලස ගිරිඳු
සහ උමගන
සැපසේ රජ කරමු
සමඟින"
එහිදී විලසින් යන්න 'විලස' වශයෙන් යෙදී ඇත. ඒ අනුව උපමා වාචකය අවස්ථානුකූල වෙනස්වීම්වලට ලක්වන බවක්ද පෙන්වයි. සංකල්ප රූප මැවීමේ දී වැදගත් වන තවත් වැදගත් කරුණු තුනක් දාගොන්නේ උදයධම්ම හිමියෝ දක්වති.
1.උපමාව මගින් නිශ්චිත පැහැදිලි සංකල්ප රූපයක් නිර්මාණය කිරීම.
2.උපමාව ප්‍රස්තූත විෂයටත් අවස්ථාවටත් උචිත වීම.
3.උපමාව පාඨකයාගේ අත්දැකීමෙහිම කොටසක් වීම.
උපමාවක් ගැළපෙන බවින් යුක්ත වීම යන සරළ කරුණ මෙම ඉහත අංග මගින් වඩාත් විචාරයට ලක් කරයි. කාව්‍යයේ මුඛ්‍ය අදහස සමඟ සම්බන්ධ වන පරිදි අදාළ උපමාව යොදාගැනීම හෙවත් ඖචිත්‍යය ගුණය රැකිම පිළිබඳව අදහසක් එයින් මතුවේ.
"නිලඳුන් ගෑ දිගැසින්ම බලන්නියො මුතුවැල් බැඳ තන කැකුලූ තලන්නියො මී පැණි ගංගා මුවඟ ගලන්නියො නයි පෙන තාලෙන උකුල සලන්නියො "
මෙම පද්‍යය විමසීමේදි පාඨකයාගේ සිතෙහි විචිත්‍ර වු රූප රචනාවන් කිහිපයක් නිර්මාණය වේ. නීලවර්ණ අංජනයෙන් ලංකාර වු දිගැස් සහිත ළඳුන් නෙත් කොනින් බලයි. මුතු තන පටින් පයෝධර හිරවන සේ බැඳගෙන සිටී. සිනාවෙන් සහ කතාවෙන් විකසිත වු මුවින් යුතු ළඳුන් පිරිසකි. කවිසමයේ ඇති උපමා සහ වර්ණනාවන් අනුව යමින් ළිඳ ළඟ සිටින කාන්තාවන් වර්ණනයක් කවියා විසින් සිදුකරනු ලබයි. ඔවුන්ගේ සිනා හඬ කතා බහ අතරතුර ශරිරයේ ක්‍රියාවන් කවියාගේ වර්ණනයට පාත්‍ර වන්නේ "නයි පෙන තාලෙට උකුළ සලන්නියො" යනුවෙනි. එහිදී පෙනය පුම්බාගත් නාගයෙකු සේ පෙන ගොබය ලෙළ දෙන ආකාරයෙන් දෙපසට ලෙළදෙන කාන්තාවන්ගේ පුළුලූකුල පිළිබඳව විචිත්‍රවත් රූප සමුහයක් ඇති කිරිමට කවියා සමත්වෙයි. කමනීය ආකාරයේ වර්ණනයකි.
ශිලාමෙඝසෙන හෙවත් "සලමෙසෙන්" නිරිඳුගේ රචනාවකැයි සැලකෙන සියබස්ලකරෙහි උපමා ප්‍රවර්ග වශයෙන් දක්වා ඇත. එම උපමාවන්ගේ ලක්ෂණ වෙනස්වන්නේ ඉතා සියුම් අන්දමිනි. මෙවන් උපමා ප්‍රවර්ග 32 ක් සියබස්ලකරෙහි සඳහන් වෙයි. ඒවා පහත පරිදිය.

උපමා ප්‍රවර්ග

  1. ධර්මොපලංකාරය
  2. වස්තුපමාලංකාරය
  3. විපර්යාසොපමාලංකාරය
  4. අන්‍යොන්‍යොපමාලංකාරය
  5. නියමොපලංකාරය
  6. අනියමොපමාලංකාරය
  7. සමුච්චයොපමාලංකාරය
  8. අතිශයොපමාලංකාරය
  9. උත්ප්‍රෙක‍්ෂිතොපමාලංකාරය
  10. අද්භූතොපමාලංකාරය
  11. මොහොපමාලංකාරය
  12. සසෙන‍්දහොපමාපලංකාරය
  13. නීර්යොපමාලංකාරය
  14. එකශ්ලේ‍සොපමාපලංකාරය
  15. සන්තාන ශ්ලේ‍සොපමාලංකාරය
  16. නින්දොපමාලංකාරය
  17. ප්‍රශංසොපමාලංකාරය
  18. ප්‍රවඤෙඡාපමාලංකාරය
  19. විරුධොපමාලංකාරය
  20. ප්‍රතිෂෙධොපමාලංකාරය
  21. චටුපමාලංකාරය
  22. අසාධාරණොපමාලංකාරය
  23. අභූතොපමාලංකාරය
  24. අසම්හාවිතොපමාලංකාරය
  25. බහුපමාලංකාරය
  26. වික්‍රියොපමාලංකාරය
  27. මාලොපමාලංකාරය
  28. වාක්‍යාතොපමාලංකාරය
  29. ප්‍රතිවස්තුපමාලංකාරය
  30. තුල්‍ය යොගොපමාලංකාරය
  31. හෙතුපමාලංකාරය
  32. සමාසොපමාලංකාරය
ඉහත උපමා ප්‍රවර්ග සියල්ලම ඉතා සියුම් අංග ලක්ෂණයන්ගෙන් වෙනස්වෙයි. වර්තමාන විචාරයන් තුළ පුළුල් අධ්‍යයනයන් නොකිරිමක් හා නිර්මාණ විෂයෙහි ඒ අංග ලක්ෂණ සහිතව වෙනස්වු නව නිර්මාණ ශිල්ප ලෙස භාවිතා නොකිරිමත් මෙම ප්‍රවර්ග සම්බන්ධයෙන් දැකිය හැකිය.

බටහිර සාහිත්‍යයේ උපමාව

බටහිර සාහිත්‍යයේ උපමාව සම්බන්ධයෙන් දක්නට ඇති නිර්වචන පිළිබඳ සොයා බැලීමේදී Brittanica විශ්වකෝෂය පවසන්නේ උපමාව අසමාන සංස්ථීතීන් ද්විත්වයක් සමාන කර දැක්වීමක් සිදුකරන බවයි. උපමාවක රූපකයක මෙන් නොව උපමා වාචක දක්නට නොමැති බව එහි සඳහන් වේ. උපමාවක් දුටු පමණින්ම එය එහි දක්නට ලැඛෙන නිපාතය මගින් හඳුනාගත හැකි බව වැඩිදුරටත් එහි සඳහන් වේ. එහි දක්නට ලැබෙන උදාහරණ කිහිපයක් පහත දැක්වේ. " He eats like a birds " " Dead as a door nail " උපමාවක් යනු වෙනස් ආකාරයේ වස්තූන් හෝ අවස්ථාවන්හි සමානකම් පෙන්වීම සඳහා යොදාගනු ලබන වාක්‍ය විධියක් ලෙස English Literature Background and Forms යන කෘතියෙහි සඳහන් වේ. මේ අනුව බලන විට සිංහල සහ පෙරදිග සහ අපරදිග සාහිත්‍යයේ උපමාව නම් අලංකාරය ඉතා වැදගත් තැනක් උසුලන්නක් බව පැහැදිලිවේ.