Friday, February 24, 2012

සිංහල නවකතාව

කවියක් කියවා හෝ අසා හෝ රස විඳීමට වඩා කතාන්තරයක් ඇසීමට හෝ කියැවීමට ශ්‍රාවකයාට හෝ පාඨකයාට විවේකයක් අවශ්‍ය වන්නේ ය. කවිය ශ්‍රමයෙහි ප්‍රතිඵලයක් ලෙසත් කතාව විවේකයේ ප්‍රතිඵලයක් ලෙසත් ලූෂුන් නමැති චීන නවකතා විචාරකයා පවසා ඇත්තේ එබැවිනි. කතාව, හේතුඵල සම්බන්ධය කෙරෙහි අවධානයෙන් ගෙතිය යුත්තක් මෙන් ම එහි දී වැදගත් වූයේ කිසියම් සිද්ධියක් විස්තර කිරීමට වඩා එහි පිළිගත හැකි හා තර්කාන්විත භාවය ය.
එහෙත් සමාජය වෙනස් වීමත් ශ්‍රාවකයන්ගේ හා පාඨකයන්ගේ ආකල්පවල ඇති වූ වෙනසක් හේතුවෙන් කතාවේ අන්තර්ගතයෙහි මෙන් ම ආකෘතියෙහි ද වෙනසකට මග පෑදිණි. අන්තර්ගතය අනුව මෙන් ම රචකයාගේ අරමුණ ද අනුව කතා වර්ගීකරණය වූයේ ය. අප දන්නා තරමට කතාන්තර පිළිබඳ විධිමත් පැරණිතම කතාන්තර වර්ගීකරණය දකින්නට ලැබෙන්නේ බුදු දහමෙහි එන යම් යම් කරුණුවල ය.
එවැනි වර්ගීකරණයක් භාවිත කොට ඇත්තේ, ධර්ම දේශක භික්ෂුන් නොපැවසිය යුතු අවධානය යොමු නොකළ යුතු කතා මොනවාදැයි පැහැදිලි කිරීමේ දී ය. දෙතිසක් පමණ වන එම වර්ගීකරණයට හසු නොවන කතාවක් නැති තරම් ය. එමෙන් ම එවැනි වර්ගීකරණයක් දක්වන්නට ඇත්තේ එවැනි කතාන්තර එකල සමාජයේ ප්‍රචලිතව තිබු නිසා බව ද පැහැදිලි වන කරුණකි.
එමෙන් ම එවැනි වර්ගීකරණයකට හේතුව වන්නට ඇත්තේ එම කතාන්තරවල දක්නට ලැබු අන්තර්ගත කරුණුවල විශේෂත්වය ද සැලකිල්ලට ගැනීමෙනි. රාජකථා, චොරකථා, භයකථා, යුද්ධකථා, සයනකථා, ඉත්ථිකථා, ගාමකථා, නගරකථා, අන්‍යකථා, ආදි වශයෙන් කරන ලද වර්ගීකරණයෙන් එවැන්නකට හේතුව, අන්තර්ගතය වන්නට ඇති බව කෙනෙකුට සිතිය හැකි වන්නේ ය. එවැනි කතා ඇසීම, කීම හෝ රචනා කිරීම තහනම් වූයේ භික්ෂුන්ට වුව ද ඒ පිළිබඳ තහනමක් ගිහියන්ට නොවූයේ ය. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වන්නේ ගිරා සන්දේශයෙහි අම්බලමේ වැනුමෙහි එන මේ කවයි.

‘නොයෙක් මිසදිටු ගත්
අයෙක් කව්නළුරස දත්
පෙර තමතමනුග ත්
රාමසීතා කතා තෙපල ත්’

එහෙත් සමාජයේ විදග්ධයන් වූ භික්ෂුහු එකල ඔවුන් ලියන දේවල දී දෙතිස් කතා ලියන්නට හෝ දෙසන්නට හෝ වෑයම් නොකළහ. ගිහියන් අතර පැවැති දෙතිස් කතා අවස්ථාවෝචිත හා රුචියට ගැළපෙන පරිදි ජනශ්‍රැතියෙහි ම පැවැති අතර කිසි ලෙසකින් ග්‍රන්ථාරූඪ වූයේ නොවේ.
සාක්ෂරතාව පැතිර යෑම, මුද්‍රණ ශිල්පය නිසා කිසියම් ආකාරයකට පුවත්පත් සහ පොත් බහුල වීමත් සමඟ සාම්ප්‍රදායික විදග්ධ ගද්‍ය ස්වරූපයෙහි වෙනසක් ඇති වුව ද දෙතිස් කතා ඔවුන්ගේ සැලකිල්ලට යොමු නොවූයේ ය. එක්තරා ආකාරයට මුලින්ම සිංහල පාඨක පිරිස කිසියම් කැලඹීමකට පත් වූයේ 1892 වර්ෂයේ දී පිටු 834 කින් යුතුව ‘අරාබි නිසොල්ලාසය’ සිංහලයට පරිවර්තනය වීමත් සමඟ ය. ඒ වන විට ද රසවත් කතා ඇසීමේ පුරුද්ද ජනයා අතර ප්‍රචලිතව පැවැතිය ද ඒවා ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව ලේඛකයන්ගේ අවධානයක් යොමු නො වූ බව පෙනේ. සති පොළ, පෝදා පොළ වැනි ජනයා රැස්වන තැන්වල දී තෙලේ බෙහෙත් වැනි දේ විකුණන්නවුන් ජනයා ඒකරාශි කොට ගත්තේ රසවත් කතා කීමෙනි.
ඒවා ධර්ම කතා නො ව ලෞකික කරුණු හෝ සමාජයේ විසු ජන වීරයන් බවට පත්වූ උතුවන්කන්දේ සරදියෙල් අප්පු, වීදියේ බණ්ඩාර වැනි චරිත පදනම් කොට ගත් සාමාන්‍ය ජනයාට රසවිඳිය හැකි කතාන්තර වූයේ ය. මේ තත්ත්වය කලාතුරකින් තවමත් ගම් පෙදෙස්වල පොළවල දී දැකිය හැකි ය. ලෞකික කරුණු පදනම් කොට ගත් මෙවැනි කතාන්තර ජනයා අතර ජනපි‍්‍රය වුව ද ජනකවිය තුළ වෙනසක් සිදු වෙමින් පැවැතිණි. විසිවන සියවසේ මුල් භාගයේ සිට අග භාගය දක්වා ප්‍රචලිතව පැවැති කුඩා කවිකතා පොත්, කවි කොළ මඟින් මෙම වෙනස සිදු වූ සේ පෙනේ.
එම කවි කතා අතර බෙහෙවින් දක්නට ලැබුණේ ජාතක කතා වුවත් ජන සාහිත්‍යාංගයක් ලෙස ඒවා ජනපි‍්‍රය වූයේ ජාතක කතාවල නම්වලින් නොව නවතාවකින් ඉදිරිපත් කළ නම්වලිනි. නිදසුන් වශයෙන් ජත්තපානි ජාතක කතාව, කවි කතාවක් බවට පත් වූයේ, ‘පුතාගේ මස් උයා කෑ පියා නොහොත් ඡත්තපානී ජාතකය’ වශයෙනි. ‘අරුම පුදුම කෑදර බල්ලා හෙවත් මහා කණ්හ ජාතක කථාව‘, ‘පතිවතක බල මහිම හෙවත් මණිචෝර ජාතක කතාව‘, ‘අරුම පුදුම ගෑනු ලෙඩේ හෙවත් හාරිත ජාතක කතාව‘, ‘කපටි සුන්දරි හෙවත් අන්ධභූත ජාතකය’, ‘අරුම පුදුම දොළදුක හෙවත් රන කකුළු ජාතක කතාව‘ ඉහත කී කරුණට තවත් නිදසුන් කිහිපයකි.
ජාතක කතා හැරෙන්නට කවි කතා වශයෙන් ඉදිරිපත් කැරුණු ආගමික සිද්ධස්ථාන විස්තර හා වෙනත් රටවලින් ගත් කතා ද දක්නට ලැබේ. ජනයා අතර ප්‍රචලිතව තිබු ‘රසවත් කතාන්තර’ කුඩා පොත් ලෙස ප්‍රචාරයට පත් නොවී ‘කවි කතා පොත්’ ජනයා අතර ප්‍රචලිත වන්නට හේතු වූයේ ඒ වන විට ද කියවා රස විඳීමට වඩා අසා රස විඳීමට කැමැති බහුතරයක් සමාජයේ සිටි බැවිනි.
මුල් කාලීන ගද්‍ය ප්‍රබන්ධකරුවන් ලෙස සැලකෙන සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඇල්බට් ද සිල්වා වැන්නවුන්ගේ ගද්‍ය ප්‍රබන්ධවල කිසියම් අමුත්තක් දක්නට ලැබුණේ ඇල්බට් ද සිල්වාගේ සහ සයිමන් ද සිල්වාගේ ප්‍රබන්ධවල පමණි. ස්ත්‍රී චරිත ප්‍රධාන චරිතය කොට ගත් විහාරමහා දේවියගේ වැනි කතාන්තර අසන්නට පි‍්‍රය කළ සාමාන්‍ය රසිකයන් අතර ස්ත්‍රී චරිත ප්‍රධාන කොට ගත් ඇල්බට් ද සිල්වාගේ ‘විමලා සහ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ පදනම් කොට ගත් ලෞකික ප්‍රබන්ධ කථා සම්ප්‍රදායයක් ජනපි‍්‍රය නොවී පියදාස සිරිසේනයන්ගේ ‘වාසනාවන්ත විවාය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’ පසු කාලීන ප්‍රබන්ධ කතා ප්‍රවණතාවක් බවට පත් වූයේ කාලීනව පැවැති වාද විවාද පිළිබඳව පැවැති ජනපි‍්‍රයත්වය නිසා ම දැයි කෙනකුට සිතෙන්නට පුළුවන.
 දහනව වන සියවසේ අගභාගයේ එනම් විසි වන සියවසේ මුල් දශක දෙක තුන තුළ ඇති වූ මෙම තත්ත්වයෙහි වෙනසක් දක්නට ලැබෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ආගමනයත් සමඟ ය. එතෙක් දක්නට ලැබුණේ එකම වර්ගයෙහි ලා සැලකිය හැකි අරමුණ අතින් උපදේශාත්මක වූ ගද්‍ය නිර්මාණ යැයි හැඳින්වීම අසාධාරණයක් ලෙස නොසිතේ. පියදාස සිරිසේනයන් සිය නිර්මාණවල අන්තර්ගතයෙහි කිසියම් වෙනසක් ඇති කළ ද ඔහු කළ එම වෙනස ඔහුගේ අරමුණ සමඟ ගළපා ගැනීමේ හේතුවෙන් ඒවා ද උපදේශාත්මක ගුණයෙන් පරිපූර්ණ වූ සේ පෙනේ.
නිදසුන් වශයෙන් ශ්‍රීමත් කොනන් ඩොයිල්ගේ ආභාසයෙන් ලියූ ‘කොන්ගොඩ වික්‍රමපාලගේ’ කෘතිවලින් පවා ඉස්මතු වූයේ කුතුහලය නොව උපදේශාත්මක මතවාදයන්ම ය. ප්‍රබන්ධ කථාවක තිබිය යුතු විචිත්‍රත්වය හා වෙනස පිළිබඳ අවබෝධයක් මුල් යුගයේ සිංහල කතාකරුවන් අතර පැවැතිය ද යථාර්ථවාදී නවකතාව බිහිවන තෙක් ම පැවැතියේ ඒකාකාරී ස්වභාවයක් යැයි කීම අතිශයෝක්තියක් ලෙස නොසිතේ.
නවකතාව හා ප්‍රබන්ධ කථාව අතර ඇති වෙනස පැහැදිලි කෙරෙන, පැරැණි එහෙත් තවමත් පිළිගැනෙන බටහිර අදහසක් වෙයි. 18 වන සියවසේ එනම් 1785 දී බටහිර විචාරිකාවක වූ ක්ලාරා රීව් නවකතාව හා ප්‍රබන්ධ කථාව අතර ඇති වෙනස පැහැදිලි කොට ඇත්තේ මෙසේ ය, ‘නවකතාව වූකලී එය ලියැවුණු වකවානුවෙහි පැවැති සිරිත් විරිත් හා යථාර්ථවත් ජීවිතයේ චිත්‍රයකි. ප්‍රබන්ධ කථාව වූකලී විභූතිමත් සාඩම්බර භාෂාවකින් ලියැවුණු කිසි දිනෙක සිදු නොවූ හෝ කිසි දිනෙක සිදු විය හැක්කක් නොවේ’ වශයෙනි.
විසිවන සියවසේ දී මෙම පිළිගැනීම වෙනසකට පත් වූයේ සමාජ සන්දර්භයෙහි ඇති වූ වෙනස පදනම් කොට ගෙන ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද පැහැදිලි කළ ආකාරයට, ‘නවකථාවක් යයි කියනු ලබන්නේ ප්‍රධාන වශයෙන් කල්පිත වූ කථාවකට ය. මෙවැනි කෘතිවලට ‘ප්‍රබන්ධ කථා’ යි පළමුවෙන් සිංහලයෙන් ව්‍යවහාර කරන්නට යෙදුණේ පැරැණි සාහිත්‍යයෙහි නොවූ රචනා විශේෂයක් හැඳින්වීමට විය යුතු ය. ජාතක කථා හෝ සිංහල ගද්‍ය පොත්වල තිබෙන වෙනත් කථා, කල්පිත කථා හැටියට සලකනු නොලැබේ... ගද්‍යයෙන් රචිත කවර කාල්පනික කථාවකට වුව ද ප්‍රබන්ධයක් යැයි මේ තේරුමෙන් කිව හැකි නමුත්, ප්‍රබන්ධ කථාවල ද නොයෙක් නොයෙක් විශේෂ තිබේ.
නායක නායිකාවන්ගේ චිත්ත චෛතසික විභාගයට හා චරිත නිරූපණයට වැඩි වෙහෙසක් නොගෙන හුදෙක් බාහිර වෘත්තාන්තය පමණක් කියන කථාවලට නවකථා නොව ගද්‍ය ආඛ්‍යාන යැයි කීම යුක්ති සහගත සේ පෙනේ.’ සරච්චන්ද්‍රයන් සයිමන් ද සිල්වාගේ සිට වික්‍රමසිංහ දක්වා වූ කථාන්තරකරුවන් හඳුන්වන්නේ මුල් නවකතාකරුවන් ලෙසට ය. ගද්‍ය ආඛ්‍යානකරුවන් ලෙසට ම නොවේ.
පියදාස සිරිසේනයන්ගේ ‘වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’ කෘතිය වසර දහයක් තුළ පිටපත් 25,000 ක් විකුණන ලදුව පස්වන මුද්‍රණයක් ද සකස් කරන්නට සිදු වූ බව කියැවෙයි. එයට පසුව වැඩිපුර පාඨක පිරිසක් කියැවූයේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ කෘතීන් බව පැහැදිලිව පෙනෙන කරුණකි’ මෙයට හේතුව වශයෙන් අපට දැක්විය හැකි වන්නේ, ආගමික ශ්‍රාවක සමාජය - ලෞකික පාඨක සමාජයක් බවට පත් වීම ය. සිල්වා මහතාගේ නවකතා ජනපි‍්‍රය වූයේ කතා කියැවූ පාඨකයන් අතර මිස කථා ඇසූ ශ්‍රාවකයන් අතර නොවේ.
එකල බටහිර ජනපි‍්‍රය ව තිබු ඉංගී‍්‍රසි නවකතාවලින් හා වෙනත් බටහිර කෘතිවලින් ආභාසය ලැබු ඔහු දේශීය වශයෙන් ආභාසය ලැබුවේ ඇල්බට් ද සිල්වා සහ සයිමන් ද සිල්වාගෙන් යැයි සිතීම අසාධාරණ යැයි නොසිතේ. විමලා සහ මීනා වැනි ස්ත්‍රී චරිත ප්‍රධාන චරිත ලෙස එම නවකතාවල දක්නට ලැබෙන්නා සේ ඩබ්ලිව්. ඒ. සිල්වා ද සිය ප්‍රථම නවකතාව ‘සිරියලතා’ ලෙස නම් කළේත්, ලක්ෂ්මි සහ කැළැහඳ වැනි නවකතාවල ස්ත්‍රී චරිතයට ප්‍රධාන තැනක් දුන්නෙත් මුල් නවකතාකරුවන්ගේ ආභාසයෙන් දෝයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
නවකතා ආකෘතියෙහි මෙන් ම අන්තර්ගතයෙහි ද වෙනසක් දක්නට ලැබෙන්නේ විචාරකයන් පිළිගන්නා පරිදි වික්‍රමසිංහයන්ගේ යථාර්ථවාදී නවකතාව ලෙස සැලැකෙන ‘ගම්පෙරළිය’ත් සමඟ ය. එය අර්ථ නිරූපණයට ම අනුව කාලීන සමාජය මෙන් ම එකී සමාජයේ ආකල්ප හා සිරිත් විරිත්වල ද යථාර්ථවාදී චිත්‍රයක් වූයේ ය. එහෙත් සිල්වා මහතාගේ නවකතා කියවා පුරුදු වූ අයට රස විඳිය හැකි කථාන්තරයක් හෝ කුතුහලයක් එහි නොවී ය. එබැවින් වික්‍රමසිංහයන්ගේ කෘති කෙරෙහි විචාරකයන් විසින් ඇති කරන ලද්දේ කාලාන්තරයක් වර්ධනය වෙමින් පැවැති ආකල්පවලට වෙනස් කෘත්‍රිම අගයක් ආරෝපණය කිරීමක් දැයි කෙනෙකුට සිතීම වැළැක්විය නො හැකි ය.
වික්‍රමසිංහයන්ම ‘උපන්දා සිට’ කෘතියෙහි සඳහන් කරන ආකාරයට එතුමන්ගේ සමහර කෘති විකුණුනේ ඒවා පාඨශාලීය පොත් වශයෙන් අනුමත කිරීමත් සමඟ ය. ‘ගම්පෙරළිය’, ‘විරාගය’ වැනි කෘති වඩා ප්‍රචලිත වූයේ ද ඒවා විභාගවලට නියමිත කෘතීන් බවට පත් වීමත් සමඟ ය. එහෙත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘කැලෑහඳ’, ‘හිඟන කොල්ලා’, ‘විජයබා කොල්ලය’, ‘දෛවයෝගය’, ‘සුනේත්‍රා’ වැනි කෘති ජනයා අතර ජනපි‍්‍රය වූයේ ඒවා විභාගවලට නියම කරන්නට බොහෝ කලකට පෙරදී ය. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ තවද එක් විශේෂතාවක් වූයේ ය. එනම් ඔහු නිර්මාණකරණයෙහිම යෙදී සිටියා හැරෙන්නට මානව විද්‍යාව, දර්ශනය, විචාරවාද ආදිය කෙරෙහි සිත් යොමුනොකිරීමය. ඩබ්ලිව්. ඒ. සිල්වා ‘කතා රජකු’ ලෙස මිය ගිය අතර වික්‍රමසිංහ මහතා මිය ගියේ ප්‍රාඥයකු ලෙසට ය.
නිර්මාණයන්හි විවිධත්වය හා විචිත්‍රත්වය පාඨක රුචියෙහි වර්ධනයට මෙන් ම රුචිකත්වය ඉහළ මට්ටමකට ගෙන එන්නට ද සමත් වෙයි. 60 දශකය තුළ සිංහල නවකතාව තුළ දක්නට ලැබුණේ එවැනි විවිධත්වයක් හා විචිත්‍රත්වයකි. ඒවා ජනපි‍්‍රය පේ‍්‍රමකථා පදනම් කොට ගත් නවකථා වුව ද ඒවාට හොඳ වෙළෙඳ පොළක් මෙන් ම ඉල්ලුමක් ද පැවැතිණි. ඒ හැරුණු විට විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක කථා, අද්භූත කථා, ඓතිහාසික කථා වශයෙන් විවිධතා එම නවකතාවන්හි දක්නට ලැබිණි. කෙටි කලක දී කියවා හමාර කළ හැකි වූ එම නවකතා, එතෙක් ඉහළ පන්තිය හා මැද පන්තිය පදනම් කොට ගත් සමාජ පසුබිමින් වෙනස්ව සමාජයේ පහළ ස්තර කෙරෙහිද අවධානය යොමු කරන ලද්දේ ය.
ඒවායෙහි කතුවරු වුව සමාජයේ විදග්ධ පසුබිමට අයත් වූවෝ නොවූහ. එහෙත් මෙම තත්ත්වය වැඩි කලක් නොපැවැත්තේ ය. චිත්‍රකථා පොත් සහ පත්තර පාඨක පිරිස අද්දවා ගත්හ. ජනපි‍්‍රය නවකතාව කෙරෙහි වූ අවධානය පාඨකයන් වෙතින් ම ගිලිහෙත් ම කථා රසයට වඩා ජීවිතයේ හා සමාජයේ යථාර්ථවත් නිරූපණ දක්නට ලැබෙන නවකතා විභාග විෂය මාලාවට ඇතුළත් වූයේ ය. නැති වූ වෙළෙඳ පොළ රැක ගන්නට ව්‍යාපාරිකයන්ට වෙනත් මං සොයන්නට සිදු විය. අවර ගණයේ ශෘංගාර නවකතා රැල්ලක ආරම්භය සිදු වූයේ එහි ප්‍රතිඵල විසිනි.
රුසියානු හා වෙනත් භාෂාවලින් පරිවර්තනය වූ නවකතා සිංහලයට පිවිසියේ ද මෙම වකවානුව තුළ දී ම ය. ඒ සමඟ රුසියානු කතුවරුන්ගේ ආභාසය ද අපේ නවකතාකරුවන්ට ලැබෙන්නට වූයේ ය. කලා විෂය ධාරාවට වඩා විද්‍යා සහ වාණිජ විෂය ධාරා කෙරෙහි ශිෂ්‍යයන් ඇදී යෑම ද නවකතාවේ පාඨක සහභාගිත්වය කෙරෙහි වක්‍ර ආකාරයකට බලපෑවේ ය.

No comments:

Post a Comment